Sunday, November 15, 2026
HomeNEWSLatest Newsමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 198.19 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ මෙරිඤ්ඤගේ ධනසිරි නැමැති විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (15) නියෝග කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වැටලීම් සිදු කරන නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් නිදහස් වී යාම කණගාටුදායක තත්ත්වයක් බවය.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළුව නීතිවිරෝධීව එක්රැස් කරගත් මුදල් හා දේපල සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය හා අනෙකුත් රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් පිරිසක් අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක නිරත විය.

එහිදී අදාළ ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසුව හා නඩු විභාගය අවසන් කර දේපල රාජසන්තක කරන තෙක් ඒවා ඔවුන් විසින් භුක්ති විඳීම වැළැක්වීම සඳහාත් ගතයුතු ඉදිරි පියවර සම්බන්ධව මෙහිදී අවධානයට යොමු වි තිබේ.

අදාළ දේපොල රාජසන්තක කිරීමට පෙර මුල් අවස්ථාවේදීම ඒවා රජය භාරයට ගැනීම කටයුතු කිරීම සම්බන්ධව මෙම හමුවට එක්වූ නිලධාරීන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කර තිබේ.

මුදල් විශුද්ධිකරණ පනත සහ 2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ දැනට තිබෙන ප්‍රතිපාදන ප්‍රකාරව ජාවාරම්කරුවන්ට එරෙහිව වහාම කටයුතු කිරීමටත් අවශ්‍ය නීති සංශෝධනයට ලක් කිරීමටත් මෙහිදී තීරණය වී ඇත.

මේ අතර යුධහමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදා නිලධාරීන් සහ මන්නාරම පොලිස් නිලධාරීන් එක්ව මන්නාරම පුදුකුඩිඉරිප්පු උයිලන්කුලම ප්‍රදේශයේ අද අලුයම වැටලීමක් සිදුකළේය.

එහිදී ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 52 ක්, කහ කිලෝග්‍රෑම් 920ක්, රුපියල් දාහත් ලක්ෂ විසිපන්දහසක මුදල් සහ තවත් විදේශීය මුදල් නෝට්ටු කිහිපයක්, ට්‍රැක්ටර් රථයක් හා ලොරි රථයක් පොලිස්  භාරයට ගැනුණි.

ඒ සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මන්නාරම පොලීසිය වෙත භාර දී තිබේ.

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව එම නිලධාරීන් අංගොඩ කැලණිමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 14ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 70ක් සමග මෝටර් රථයක ගමන් ගත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බොරැල්ල වනාතමුල්ලේ පදිංචි හිටපු රක්ෂණ නියෝජිතයෙකුද වූ 35 හැවිරිදි මෙම සැකකරු කැලණිමුල්ල ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී නිවසක රැඳී සිටිමින් මත්කුඩු අලෙවිය සිදුකර තිබුණි.

මේ අතර මොරටුව පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකය විසින් මොරටුව මුරවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 750ක් සමග 30 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ඉමෝ සමාජ ජාලය ඔස්සේ විදේශයක සිටින අයෙකුට මත්කුඩු ඇනවුම ලබාදෙන අතර ඒ අනුව ඊට සම්බන්ධ මෙරට සිටින තවත් අයෙකු ඔහුට මත්කුඩු ලබාදෙන බව අනාවරණ විය.

මත්ද්‍රව්‍ය අලෙවිකර ඉතිරි වන සියලුම මත්කුඩු තමන් පානය කරන බව පොලීසියට සඳහන් කර ඇති මෙම සැකකරුගේ පවුලේ සියලුම දෙනා හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.

ගාල්ල සුරාබදු කාර්යාලයේ නිලධාරීන් විසින් කරාපිටිය ශික්ෂණ රෝහල අවට සහ හිරිඹුර, පහළ ඩික්සන් පාර යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 800ක් හා මදන මෝදක ගුලි 35ක් සමග තරුණයින් 15  දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මොනරාගල නගරය හා ඒ අවට පාසල්වල සිසුන්ට කලක සිට මත්පෙති අලෙවි කළ 25 හැවිරිදි තරුණයෙකු මත්පෙති 10 ක් හා හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 650ක් සමග මොණරාගල මූලස්ථාන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කරන්දෙණිය පොලිස් නිලධාරීන් සිදුකළ වැටලීමකදී කරන්දෙණිය මුත්තෙට්ටුව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකුත්, කරන්දෙණිය කුමාරදෙණිය මාවතේදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 50ක් සමග තවත් සැකකරුවෙකුත් අත්අඩංගුවට පත්විය.

මහරගම පොලිස් නිලධාරීන් විසින් නාවින්නේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2ක් සහ රුපියල් 30,000ක මුදලක් සමග මෝටර් රථයකින් ගමන් ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණි.

ඔහු යුධ හමුදාවෙන් අනිවාර්ය විශ්‍රාම යැවූ කර්නල්වරයෙකු බවයි පොලීසිය සඳහන් කළේය.

මේ අතර මීගමුව බන්ධනාගාරයට සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැඳවියන් බැලීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඉතා සූක්ෂ්ම ආකාරයෙන් සිය පාවහන්වල සඟවාගෙන පැමිණි දුම්කොළ රැඳවියෙකුට ලබාදීමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 06ක් ද සමග සැකකරුවන් සිව්දෙනෙකු සේදවත්ත ප්‍රදේශයේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත්තේය.

මේ අතර, දැනට බන්ධනාගාරගත කර සිටින පාතාල සාමාජිකයෙක් වන අමිත් සංජීව හෙවත් “කලුපේ අමිත්” ට අයත් ගිනිඅවි 3ක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මීටියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් එක් ගිනිඅවියක් ඔස්ට්‍රියාවේ නිෂ්පාදිත අවියක් බව පොලීසිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img