මහනුවර බූවැලිකඩ ප්රදේශයේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අද (21) දෙවන දිනටත් සිදුකිරීමට නියමිතය.
බූවැලිකඩ සංඝමිත්තා මාවත ප්රදේශයේ දී මහල් 5කින් යුත් ගොඩනැගිල්ලක් ඊයේ (20) පාන්දර කඩා වැටීමට ලක්විය.
එහිදී ඊට යාබද නිවස සම්පූර්ණයෙන් ම විනාශයට පත් වූ අතර එම නිවසේ සිටි එකම පවුලේ මව පියා සහ බිළිදා මිය ගියේ ය.
ඒ අනුව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද දිනයේ මහනුවර මහා රෝහලේ සිදුකිරීමට නියමිතය.
මේ අතර කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු ඊයේ පස්වරුව වන තුරුම සිදුකළ අතර, පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම කටයුතු අද උදෑසන සිට සිදුකරන බව පොලීසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිදුවීම සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් ඊයේ දිනයේ ම පරීක්ෂණ ආරම්භ කළ අතර එම පරීක්ෂණ අද දිනයේ ද සිදුකිරීමට නියමිතය.






















