මහනුවර පාසල් 42ක් නැවත ඇරඹේ
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සතියේ වසා තැබුණු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 42ක ආධ්‍යයන කටයුතු අද (14) දිනයේ සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කළේ කෙසේවෙතත් නගරයේ පාසල් තුනක් තවදුරටත් වසා තැබෙන බවය.
මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45ක අධ්‍යයන කටයුතු පසුගිය සතිය තුළ නතර කෙරුණි.
මේ වනවිට මහනුවර ප්‍රදේශයේ පවතින තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව පාසල් 42ක් අද දිනයේ සිට විවෘත කිරීමට තීරණය කළ බව ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කළේය.
“පළාත් කොවිඩ් කමිටුවේ තීරණයකට අනුව තමයි මෙම තීරණය ගැණුනේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මේ අවස්ථාවේ උපරීම සහය ලබාදීම සහ දරුවා සුරක්ෂිතව පාසලට ගෙනඒම සඳහා දෙමව්පියන්ටද වැඩි වගකීමක් තිබෙනවා. සියලු සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් තුළ අධ්‍යයන කටයුතු සිදු කෙරෙනවා. ගමනාගමනය සඳහා අවශ්‍ය වැඩි පහසුකම්ද මේ වනවිට ලබාදීලා තියෙනවා.” යනුවෙන් ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පැවසීය.
මේ අතර පසුගිය සතියේ වසා තැබුණු ගාල්ල ප්‍රදේශයේ පාසල් 26 මෙම සතිය තුළද වසා තැබීමට තීරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කළේය.
“මෙම පාසල් වසා තැබීම පිළිබඳ නැවත සිදුකරන ලද සමාලෝචනයකට අනුවයි මෙම තීරණය ගැණුනේ. ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ මෙම පාසල් 26 අද (14) සිට සිකුරාදා (18) දක්වා නැවතත් වසා තබන්න තීරණය කෙරුණා. මෙම තත්ත්වය මෙම සති අන්තයේදී නැවත සමාලෝචනය කරලා ඉදිරි තීරණ ගැනීමට නියමිතයි.” යනුවෙන් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කළේය.
මේ අතර අද දිනයේ සිට සාමාන්‍ය පරිදි සියලු කාර්යාල දුම්රියන් ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ භාවිත කරමින් දුම්රිය ධාවන කටයුතු සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බවය.






















