“රාජපක්ෂවරුන් හොරා කාපුවා හංගලා තියෙන්නේ ඩුබායිවල, ෂී සෙල්ස්වල” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තලු මරමින් ප්‍රකාශ කළේ මීට වසර කිහිපයකට පෙර සිටය. “මහින්ද රාජපක්ෂ හොරා කාපුවා ඩුබායිවල හංගලා තියෙනවා. මැරියට් හෝටලයත් මහින්දගේ. තවත් සල්ලි හංගලා තියෙනවා” යනුවෙන් පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී අනුර කුමාර දිසානායකට අමතරව කෑමොර දුන්නේ සජිත් ප්‍රේමදාස, රන්ජන් රාමනායක, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිස්ය. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරමින් ඔවුන් එවකට පැවති යහපාලන ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) නිලධාරීන් ඩුබායි රාජ්‍යයට යවා මහින්ද රාජපක්ෂ ඩුබායිවල සඟවා තිබෙන මුදල් සොයාගෙන එන ලෙසටය. FCID එකේ නිලධාරීන් කිහිපදෙනෙකුම ඩුබායි බලා පිටත්වුණේ මහින්ද රාජපක්ෂ එහි සඟවා තිබෙනවා යැයි කියු මුදල් සොයා ගැනීම සඳහාය. FCID නිලධාරීන් ඩුබායි හෝටල්වල රැඳී සිටිමින් මහින්ද රාජපක්ෂ සඟවා තිබෙනවා යැයි කියපු ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක මුදල සෙවීමට උත්සාහයක් ගත්තද ඔවුන්‍ට මහින්ද රාජපක්ෂ සඟවා තිබෙනවා යැයි කියූ එක ඩොලරයක්වත් සොයා ගැනීමට නොහැකි විය. මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ කීවේ තමා සොරකම් කළ එක ඩොලරයක් කුමන හෝ රටක තිබී සොයාගත හොත් තමා බෙල්ල කපා ගන්නා බවයි. මහින්ද රාජපක්ෂ ඩුබායිවල සඟවා තිබෙන මුදල් සොයාගත්තාද යනුවෙන් එවකට ඒකාබද්ධ විපක්ෂය කිහිපවතාවක්ම එවකට යහපාලන ආණ්ඩුවේ පොලිසියභාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරගෙන් පාර්ලිමේන්තුවේදී කිහිප වතාවක්ම විමසීම් කළද ඊට පිළිතුරු ලබාදීමට යහපාලන ආණ්ඩුවේ මහජන ආරක්ෂක ඇමති රංජිත් මද්දුම බණ්ඩාරට නොහැකි විය. රංජිත් මද්දුම බණ්ඩාරට එදා එම ප්‍රශ්නයට පිළිතුරු නැතිවීමට හේතුව පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පෙන්වා දෙන ලදී. “ඩුබායි බැංකුවේ රාජපක්ෂලාගේ මුදල් ගැන සාක්කි නැහැ” යනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකටය. “රාජපක්ෂවරුන් ඩුබායි රාජ්‍යයේ තැන්පත් කළ බව කියන ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් සෙවීමට කණ්ඩායමක් එම රටට පිටත් කළද ඒ පිළිබඳ සාක්ෂි නැතැයි එම කණාඩායම තමන්ට පැවසූ බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඩුබායි රාජ්‍යයේ බැංකුවක ඇමෙරිකානු ඩොලර් බිලියනක මුදලක් තැන්පත් කර ඇති බව කියන පුවත සත්‍යදැයි සෙවීමට ජේ.සී.වැලිඅමුණ, දිල්රුක්ෂි ඩයස්, රවී විද්‍යාලංකාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ඩුබායිවලට යැවු බවත් එහිදී හෙලිවුයේ කුමක්ද? යන්න කියාත් අනුර කුමාර දිසානායක විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් විමසන ලදී. “අපේ යහපාලන ආණ්ඩුව සමයේ ජනාධිපති නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් ඩුබායිවලට ගිහින් ඒ ගැන සොයා බලා ආපහු ලංකාවට ආවා. ඒ අය කිව්වේ ඒ ගැන සාක්ෂි නැ කියලා. ඉතින් ඊට වඩා මට දෙයක් කරන්න නැහැ” යනුවෙන් ඊට පිළිතුරු ලබාදෙමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැහැදිලි කළේය. මහින්දගේ සල්ලි ඩුබායිවල සඟවා ඇති බවට ගහපු අතේ රෝල දැන් පත්තු වී තිබෙන බව ජනාධිපතිවරයාගේ කතාවෙන් ඉතා හොඳින් පැහැදිලිවේ. රාජපක්ෂවරුන්ගේ මුදල් සෙවීම සඳහා ඩුබායි ගිය කණ්ඩායමේ ගුවන් ප්‍රවේශ පත්‍රවලට සහ ඔවුන් ඩුබායිවල නැවතී සිටී හෝටල් ඇතුළු ආහාර පාන සඳහා වැය වු මුදල් පිළිබඳව එවකට පැවති යහපාලන ආණ්ඩුවෙන් එවකට පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළද ඊට යහපත් ප්‍රතිචාර ලැබුණේ නැත. නමුත් ඒ සියලුම චෝදනාවලට එවකට යහපාලන ආණ්ඩුවේ අග්‍රමාත්‍යවරයා මෙන්ම වර්තමාන ජනාධිපති වන රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවටම පිළිතුරු ලබාදී තිබේ. රාජපක්ෂවරුන් ඩුබායිවල මුදල් සඟවා ඇති බවට ගෙන ගිය මඩ ප්‍රචාරවලට එරෙහිව රාජපක්ෂවරුන්ට නීතිය ක්‍රියාත්මක කළ හැක. නමුත් කිසිදු ආකාරයකින් පළිගැනීමට අකමැති මහින්ද රාජපක්ෂ මෙම මඩ චෝදනාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයිද? යන සැකයද එක් පැත්තකින් මතු වේ. මහින්ද රාජපක්ෂ එවැනි නීතිමය කටයුතුවලට බොහෝ විට නොයන නිසා අළුත් අළුත් මඩ ප්‍රහාරයන් ද එල්ල වීමට ඉඩ තිබේ. නමුත් මහින්ද රාජපක්ෂ මෙම සියලු චෝදනා දෙස උපේක්ෂාවෙන් බලා සිටීම ඔහුගේ පරිණතභාවය ද එසේ නොමැති නම් දුර්වලතාවයක් ද කියා ඉතිහාසය විසින් තීරණය කරනු ඇත.






















