වර්තමාන මාලිමා ආණ්ඩුව දිගින් දිගටම මේ රටේ ජනතාව මුලා කරමින් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් අසත්‍යයෙන්ම රට පාලනය කරමින් සිටින බවත් ජනතාව මින් ඉදිරියට වර්තමාන ආණ්ඩුවට රැවටෙන්නේ නොමැති බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් මහතා ප්‍රකාශ කරනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් අද(03) පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකදී.
මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ කොළඹ, මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෂිරාස් යුනුස් මහතා මෙසේද පැවසුවා.
අද වර්තමාන මාලිමා රජය සිදු කරන්නේ ඔවුන් මැතිවරණයේදී පොරොන්දු වූ කිසිවක් නොවේ. ඔවුන්ට දේශපාලන බලය රඳා පවත්වා ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය දේ තමයි ඔවුන් කරමින් ඉන්නේ. මේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමද එවැනි කාර්යයක්. ඔවුන් හොරු අල්ලනවයි කියලා කිව්වා. නමුත් හොරු අල්ලන වැඩේ හරියට කරනවාද මේ සිදු කරන්නේ දේශපාලන පළිගැනීම්. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම්, වතුකරයේ ජනතාවට වෙන වෙනම පොරොන්දු රාශියක් මැතිවරණයට පෙර මේ මාලිමාව විසින් ලබා දුන්නා. ඒ සමස්ත ජනතාවම මේ ආණ්ඩුව අද රවට්ටලා තියෙන්නේ.
ඒක නිසා ජනතාව තවත් මේ වර්තමාන මාලිමා ආණ්ඩුවට රැවටෙන්නේ නැති බව මට විශ්වාසයි.
ඒ වාගේම රටක ආණ්ඩු පිහිටුවන්නටත් රටක ආණ්ඩු පෙරලන්නටත් මාධ්‍යට හැකියාවක් තියෙනවා.
නිදහස්, මධ්‍යස්ථ මාධ්‍යට අද වෙනකොට මේ රටේ අඩුවක් දකින්න තිබෙනවා. සමස්ත සමාජයක් විදිහට බලාපොරොත්තු වෙනවා නිදහස් මාධ්‍යයේ වටිනාකම. තොරතුරු දැනගැනීමේ අයිතිය. ඒ නිසා සමාජය නිදහස් මාධ්‍ය සහ යහපත් මාධ්‍ය ගැනත් ඉන්නේ දැඩි අවධානයකින්.






















