පසුගිය මැයි මස 09 වන දින පුද්ගලික බස් රථ ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ජාත්‍යන්තර සංවිධාන වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ බස්රථ ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් මේ වන විට එම බස් රථ හිමියන් දැඩි ආර්ථික අපහසුතාවන්ට පත්ව ඇති බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර එම බස්රථ හිමියන්ට සාධාරණය් ඉටුකරන ලෙස එම සංවිධානවලින් ඉල්ලීමක් කරන බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
“පසුගිය මැයි 9 වනදා කුලී පදනම මත අපේ බස්රථ කොළඹට ඇවිල්ලා තිබුණා. බස්රථ 50කට ආසන්න සංඛ්‍යාවක් ගිනි තියලා තිබුණා. ඒ වගේම විනාශ කරලා තිබුණා. ඒ නිසා මේ බස් කර්මානතයේ නියැලි සිටි බස්රථ හිමිකරුවන් බරපතළ ආර්ථික අපහසුතාවලට පත්වෙලා තියෙනවා. ඔවුන්ට නැවත වතාවක් බස්රථයක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් තියෙනවා. ඔවුන්ගේ දරුවන් පාසල් යවන්න, ඒ අයට ජීවත්වෙන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ කොළඹ කාර්යාලයටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනයේ කොළඹ කාර්යාලයටත් මේ පිළිබඳ විමර්ශනයක් කරලා සාධාරණයක් ඉටුකරන්න කියලා අපි ලිඛිත ඉල්ලීමක් කරා පැමිණිල්ලක් විදියට.”






















