කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ 40% කොටස් අමෙරිකානු සමාගමකට ලබාදීම සඳහා එළැඹි ගිවිසුම පිළිබඳව සාකච්ඡාවක් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අද (23) පස්වරුවේ පැවැත්වුණි.
සාකච්ඡාවෙන් පසු අමාත්‍ය විමල් වීරවංහ මහතා පැවසුවේ ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණි පසු අදාළ ගිවිසුම පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවය.
සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා,
“සන්ධානයේ ඔක්කොම නායකයෝ ටික එකතු කරලා සාකච්ඡා කළා. LNG බලාගාරය අපි කරන්න ඕන, අපේ සම්පත් පිටට නොදීමේ ප්‍රතිපත්තිය රකින්න ඕනේ කියලා. අත්සන් කිරීම එතරම් වැදගත් නෑ. අපේ තීන්දුවයි ප්‍රධාන”
බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ,
“මේ ගිවිසුම හරහා අමෙරිකාව විදුලිය දෙන එක නතර කළොත් අපිට විදුලිය නැති වෙනවා. ඒ විනාශයට අත උස්සන්න අපි සූදානම් නෑ.”
කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙන් උපයන ආදායම්වල පූර්ණ ප්රතිලාභ ලබාගතහැකි වාතාවරණයක එහි කොටස් විකුණාදැමීම සිදුවන බව විදුලි ඉංජිනේරු සංගම් පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ බලාගාරය ඉදිකිරීම සඳහා ලබාගත් ණය මුදලේ සියලු ආපසු ගෙවීම් ගිය වසරේදී නිමාවූ බවය.
අද දෙරණ බිග්ෆෝකස් වැඩසටහනට එක්වූ ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති අතුල වන්නිආරච්චි මහතා,
“ලබන වසරේ සිට විශාල ලාභයක් ලබන්න තියෙනවා. පොල් වත්තක් හදලා පොල් කඩන්න යද්දී මට මේක විකුණන්න ඕනේ නම් මම මේකට කොච්චර ආයෝජනය කරලා තියෙනවාද? කොච්චර ආදායමක් එනවාද? මුදල් හදිසියකට විකුණනවා නම් තක්සේරු කරන්න ඕන කීයකටද විකුණන්නේ කියලා. ඒවා කරනවාද? නැද්ද? කියලා ප්‍රශ්න තියෙනවා.“
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා,
“මෙහෙයුම් දුන්නොත් බලාගාරවල පාලනය අපෙන් යනවා. බලාගාරයෙත් කොටස් ගන්නවා. මොකක් හරි ආරවුලක් එනවා. ඒ ආරවුල් නිසා අපිට LNG දෙන්නේ නෑ කිව්වොත්. මේ ඔක්කොම බලාගාර ටික නවත්තන්න වෙනවා. ආණ්ඩුව මේ දවස්වල ඩොලර් හොයනවා. 95%ක්ම කොටස් තියෙන්නේ රාජ්‍ය ආයතනවලට. 50%ක් තියෙන්නේ මහා භාණ්ඩාගාරයට. ඕක දීලා ඩොලර් මිලියන 250ක් ගන්න යන්නේ. ඔය සමාගමට අවශ්‍ය නෑ ඔය 40% ගන්න. ඒ අයට ඕනේ LNG සැපයුම ගන්න.”
මේ අතර අද නිවේදනයක් නිකුත් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව වැනි කුඩා රටක බලශක්තියේ පාලනය සහ හිමිකම ලබාගන්නා පිටස්තර කවරකුටවුවද රටේ පාලනය හැසිරවීමට බලයක් ලැබෙන බවය.
එහෙයින් යුගදනවි බලාගාරයට අදාළව රජය එළැඹි ගිවිසුමට සමගි ජන බලවේගය එරෙහි වන බව එම නිවේදනයේ සඳහන් වේ.






















