රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ දී හඩ නගයි.
රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් තම ජීවිතය පූජා කළ රණවිරුවන්ගේ භාර්යාවන් හා දරුවන් මෙන්ම යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව තිබෙන රණවිරුවන් වෙතින් පසුගිය කාල සීමාව තුළ විවිධ ඉල්ලීම් ඉදිරිපත් විය. දැනට ඔවුන්ගේ ප්‍රධානතම ඉල්ලීම් වන්නේ අබාධිත රණවිරුවන්හට ඔවුන් ලබමින් සිටි වැටුප හා විශ්‍රාම වැටුප ගෙවීමට කටයුතු කරන ලෙසත්, තම ජීවිතය පූජා කළ රණවිරුවන්ගේ බිරිඳ හෝ අවුරුදු 18 ට අඩු දරුවන්ට එම රණවිරුවා ලබමින් සිටි වැටුප හා විශ්‍රාම වැටුප ගෙවීමට කටයුතු කරන ලෙසත්, ඔවුන් මුහුණ දෙන නිවාස ප්‍රශ්න, රැකියා ප්‍රශ්න හා විවිධ සමාජයීය ප්‍රශ්න සඳහා නිසි විසදුම් ලබා දෙන ක්‍රමවේදයක් සකසන ලෙසත්ය.
- පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මෙම ඉල්ලීම් ඉටු කරන බවට රජය නියෝජනය කරන පාර්ශ්ව විසින් පොරොන්දු ලබා දුන්නද මෙතෙක් එම ඉල්ලීම් කිසිවක් ඉටු කොට නොමැත. එසේම, අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තෙවන කොටසේ පහත සඳහන් යෝජනා ඉතා පැහැදිලිව සඳහන් කොට තිබේ.
• අබාධිත හමුදා සාමාජිකයින්ටත් මියගිය රණවිරුවන්ගේ බිරිඳ හෝ දරුවන්ද ඇතුළත් වන පරිදි නිවාස ඉදිකිරීම හෝ මිල දී ගැනීම සඳහා රජයේ බැංකු හරහා නව සහන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම.
• මියගිය හා අබාධ සහිත රණවිරුවන් එක කොටසක් ලෙස සළකා විශ්‍රාම වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමට කටයුතු කිරීම.
• පූර්ණ අබාධ සහිත රණවිරුවන්ට ඔවුන්ගේ ජීවීතාන්තය දක්වාත් ඉන්පසුව ඔවුන්ගේ භාර්යාවන්ට හෝ අවිවාහක නම් මවට හෝ පියාට ඔවුන්ගේ ජීවිත කාලයටත් ඔවුන් අවසන් වරට ලබමින් සිටි වැටුපට සමාන විශ්‍රාම වැටුපක් ගෙවීම.
• අත් පා අහිමි වූ රණවිරුවන් හට සිය කෘත්‍රිම අත් පා සාදවා ගැනීම සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් මිනුම් ලබා දීමට ක්‍රමවේදයක් සකස් කිරීම.
- කෙසේ වුවද, ඉහත ඉල්ලීම් හා යෝජනා කිසිවක් ඉටු කොට නොමැති පසුබිමක් යටතේ ඔවුන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති බැවින්, මෙම කාරණය ජාතික වැදගත්කමකින් යුතු හදිසි කාරණයක් වශයෙන් සළකා පහත සඳහන් ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.
1) රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් තම ජීවිතය පූජා කළ රණවිරුවන්ගේ භාර්යාවන් හා දරුවන් මෙන්ම යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව තිබෙන රණවිරුවන් සඳහා සුවිශේෂී විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම සඳහා රජය සතුව නිශ්චිත වැඩපිළිවෙලක් තිබේද? එසේ නම් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත කාල වකවානු පිළිබඳව රජය විසින් මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද?
2) අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තෙවන කොටසේ සඳහන් ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීමට රජය විසින් කටයුතු කොට තිබේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?
3) රණවිරු පවුල් සඳහා ආර්ථික හා සමාජයීය වශයෙන් සහන සැලසීමටත් ඔවුන් රැකබලා ගැනීමටත් පුළුල් හා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව රජය විසින් පිළිගනු ලබන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?






















