ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (05) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්ය සාකච්ඡාවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස්
ශ්රී ලංකිකයෙක් මරණීය දණ්ඩනයට යටත්ව සෞදි අරාබියේ බන්ධනාගාරයක සිරකොට තිබෙනවා. එය ඉතාමත් ශෝචනීය සිද්ධියක්. අප සියලු දෙනාටම විශාල උනන්දුවක් තිබෙනවා ඒ භයානක ඉරණමෙන් ඔහුව මුදා ගැනීමට. නමුත් එය නිවැරදි ක්රමවේදයට අනුව සිදුවිය යුතුයි.
මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම සහ නායකත්වය ලබා දිය යුත්තේ ශ්රී ලංකාවේ විදේශ කටයුතු අමාත්යාංශයයි. කෙරන සියලුම දේවල් කෙරෙන්න ඕනේ විදේශ කටයුතු අමාත්යාංශය හරහායි.
දේශපාලන පක්ෂ නායකයන්, පාර්ලිමේන්තුව, මන්ත්රීවරුන්, සිවිල් සමාජ ආයතන මේ සඳහා කෙලින්ම මැදිහත් වුණොත් ඒකෙන් ලොකු හානියක් සිදුවෙනවා. කවුරුහරි උත්සාහ දරනවා නම් සෞදි අරාබියේ බන්ධනාගාරයේ පාලකතුමාට දුරකථනයෙන් කතා කිරීමට, එය ඉතාම භයානක තත්ත්වයක්.
අනෝජන් සිරිනිවාස තමයි බන්ධනාගාරයේ සිටින්නේ මරණීය දණ්ඩනයට යටත්ව. ඒ රැඳවියාට කෙලින්ම කතා කරන්න උත්සාහ දරනවා නම්, එහෙම නැත්නම් ඒ බන්ධනාගාරයේ පාලකයාට කතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් විපක්ෂයේ මන්ත්රීවරුන් හෝ සිවිල් සමාජයේ නායකයන් හෝ වෙන කවුරු හරි, එහි ප්රතිඵලය ඉතා අහිතකරයි.
මේ සම්බන්ධයෙන් විශේෂ සම්ප්රදායන් තිබෙනවා. අප ගරු කරන්න ඕනේ ඒ රටේ සංස්කෘතියට, පාලන ව්යුහයට සහ එම රජය තීරණ ගන්න ක්රමයට. ආවේගශීලීව මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කිව්වොත් අපි අපේක්ෂා කරන ප්රතිඵලය හා ලැබෙන ප්රතිඵලය අතර විශාල වෙනසක් තිබෙනවා. අවුල් සහගත තත්ත්වයක් ඇති වෙනවා. එය කිසිසේත් සෞදි අරාබියේ රජය අනුමත කරන ක්රියාමාර්ගයක් වෙන්නේ නැහැ. හැමෝම මේකට හවුල් වෙයි.
නමුත් නියෝජිත පිරිසක් පත් කරලා තිබෙනවා ශ්රී ලංකා රජය වෙනුවෙන් සෞදි අරාබියට ගිහිල්ලා සෞදි අරාබියේ රජතුමාට හා රජයට මේ මරණීය දණ්ඩනය ඉවත් කිරීමට කරුණු ඉදිරිපත් කිරීමට. ඒ වගේම ඒ සම්බන්ධයෙන් ඇති නීති හඳුනාගෙන ඒ වැඩ කටයුතු කිරීමටත් භාර දී තිබෙනවා.
අප සියලු දෙනාටම මෙහි වැදගත් ප්රතිඵලය ලබා ගැනීමට නම් විදේශ ප්රතිපත්තියේ මූල් බැසගෙන තිබෙන එහෙම නැතිනම් අවුරුදු ගණනාවක් තිබෙන සම්ප්රදායන්ට අනුකූලව කටයුතු කිරීම ඉතාමත් වැදගත්.
සති දෙකකට පෙර තිබුණා ඉන්දියාවේ නවදිල්ලි නුවර බ්රික්ස් (BRICS) සංවිධානයේ රාජ්ය නායකයන්ගේ සමළුවක්. බ්රික්ස් සංවිධානය කියන්නේ අද ලෝකයේ ඉතාමත් ප්රබල සංවිධානයක්. ඔවුන් ප්රබල රටවල්. ඉන්දියාව, චීනය, රුසියාව, දකුණු අප්රිකාව, බ්රසීලය මේ ඔක්කොම රටවල්වල රාජ්ය නායකයන් මේ සඳහා පැමිණියා. අවාසනාවකට මෙන් ශ්රී ලංකාවට ඒ සමුළුවට සහභාගී වීමට අවස්ථාව ලැබුණේ නැහැ.
2024 දී රනිල් වික්රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරය හොබවන අවස්ථාවේදී එතුමා සාකච්ඡා කළා රුසියාවේ පුටින් ජනාධිපති සමඟ. එහි ප්රතිඵලයක් වශයෙන් ශ්රී ලංකාවට ආරාධනාවක් ලැබුණා ඒ සංවිධානය සමඟ සාකච්ඡා කරන්න. නමුත් ඒ අවුරුද්දේ ආණ්ඩුව වෙනස් වුණා. වර්තමාන රජය බලයට පත් වුණා.
2024 බ්රික්ස් රාජ්ය නායකයන්ගේ සමුළුව පැවැත්වුණා රුසියාවේ කසාන් නගරයේ. ශ්රී ලංකාවේ ජනාධිපතිතුමා ගියේ නැහැ, අගමැතිනිය මීට සහභාගී වුණේ නැහැ, විදේශ ඇමතිතුමා සහභාගී වුණේ නැහැ,
ලංකාව නියෝජනය කළේ නිලධාරියෙක් විසින්. ඒ තමයි විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම්තුමා. මේ සඳහා සහභාගී වුණු ෂී ජින්පිං, පුටින්, නරේන්ද්ර මෝදි ඇතුළු රාජ්ය නායකයින්ට වැටහුණා ශ්රී ලංකාවට මෙය වැදගත් නොවන බව.
එහි ප්රතිඵලයක් වශයෙන් තමයි මේ අවුරුද්දේ නවදිල්ලියේ පැවතුණු බ්රික්ස් රාජ්ය නායක සමුළුවට සහභාගි වීමට අපිට ආරාධනාවක් නොලැබුණේ.
මෙයින් විශාල හානියක් රටට සිදු වුණා. බ්රික්ස් සමුළුවේදී ස්ථාපිත කළා ඉතාමත් වැදගත් ආයතනයක්, අපිට හුඟක් ප්රයෝජනවත් ආයතනයක්. අලුත් සංවර්ධන බැංකුවක්. ඒ කියන්නේ සංවර්ධන වන රටවල් වලට, නැගී එන වෙළඳපොළ වලට අවශ්ය මූල්ය ශක්තිය ආධාර සැපයීම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේම ඒ මට්ටමේ ජාත්යන්තර බැංකුවක් ස්ථාපිත කිරීමට මේ බ්රික්ස් සමුළුවේදී පියවර ගත්තා.
ශ්රී ලංකාවට තිබෙන ප්රධාන ප්රශ්නය තමයි අපේ ආර්ථිකය. මේ අවුරුද්දේ අප්රේල් මාසයේ IMF ගිවසුම අවසානයි. අලුත් ගිවිසුමක් ඇති කරගත්තාද, නැද්ද යන්න පිළිබඳ අවසාන තීරණයක් නැහැ. මැද පෙරදිග යුද්ධය නිසා විශේෂයෙන්ම ඉන්ධන සම්බන්ධයෙන් විශාල ප්රශ්නයක් ඇතිවෙලා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අපිට මේ අලුත් බැංකුවෙන් මූල්ය ආධාර ලබා ගැනීමට පුළුවන් නම් ඒක අපිට විශාල සහනයක් වෙනවා. නමුත් අපි පසුබිම සකස් නොකරගත් නිසා අපිට ඒකට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් වෙනත් ආසියානු රටවල්, වියට්නාමය, තායිලන්තය, මැලේසියාව මෙයින් සම්පූර්ණ ප්රයෝජන ගත්තා.
මෙන්න මේ තත්ත්වය තුළ අද අපේ රටට මුහුණ දීමට සිදුවෙලා තිබෙන සංකීර්ණ ප්රශ්න වලට අපේ ස්ථාවරය ඉදිරිපත් කිරීම ගැන විශාල ගැටලු ඇතිවෙලා තියෙනවා.
අපේ මූහුදට ආසන්නව අද වනවිට ඉරානයේ නැව් 15 ක් තිබෙනවා. ඒ අයට අවශ්ය වතුර නැහැ, ආහාර නැහැ, ඒ නැව්වල සිටින පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම අද ඉතාමත් අසීරු දෙයක් වෙලා තිබෙනවා. ඒ නැව් වලින් ශ්රී ලංකා රජයට ආයාචනයක් ලැබිලා තිබෙනවා මේ අයගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ආහාර, ජලය වගේ අත්යවශ්ය දේවල් සපයන්න කියලා.
ශ්රී ලංකා රජයේ ස්ථාවරය විදේශ කටයුතු අමාත්යාංශය විසින් ප්රකාශයට පත් කළා. අපිට මේක කරන්න පුළුවන්කමක් නැහැ. මොකද? ඇමරිකාව සම්බාධක පනවලා තිබෙන නිසා කියලා.
ප්රායෝගිකව බලනවිට ඒ සම්බාධක වලට පටහැනිව ක්රියා කිරීමට ශ්රී ලංකාවට ශක්තියක් නැහැ. ඒක ඇත්ත. විදේශ කටයුතු අමාත්යාංශය කියනවා මේ සම්බාධක ප්රශ්නය ලංකාවට විතරක් නෙමෙයි, ලෝකයේ සියලුම සාගරවල දැනට සිටින ඉරාන නැව් වලට බලපානවා කියලා. නමුත් වැරදි දේ හැමතැනම කෙරෙන නිසා හරි වෙන්නේ නැහැ. වැරදි දේ වැරදියි.
මේ ප්රශ්නය මානුෂීය ප්රශ්නයක්. මේ ප්රශ්නය ප්රථම වතාවට ඉස්මතු වුණේ අපේ සමුද්ර තීරයට ආසන්නව තිබෙන ඉරාන නැව් 15 සම්බන්ධයෙන් පමණක් නෙමෙයි.
මීට මාස අටකට පෙර “අයිරිස් දේනා” කියන ඉරාන නෞකාවට පහර දුන්නා ඇමෙරිකානු සබ්මැරීනයක්. එය සිද්ධ වුණේ ශ්රී ලංකාවේ සුවිශේෂ ආර්ථික කලාපය තුළ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපිට විශේෂ වගකීමක් තිබුණා. මොකක්ද වුණේ? ඒ නැවට ටෝපිඩෝවල් එල්ල වුණා. ඒ නැව ගිනි බත් වෙලා ගිලුනා. මෘත ශරීර 87ක් සාගරයේ පාවෙමින් තිබුණා.
ඒ පිළිබඳ කිසිම ප්රකාශයක් ශ්රී ලංකා රජයෙන් කෙරුණේ නැහැ. දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව මේ විදිහට යම්කිසි රටක විශේෂ ආර්ථික කලාපයක් තුළ මේ විදිහට ප්රහාරයකට ලක්වුණු නැවක් ගිල්ලපු ප්රථම අවස්ථාව මේකයි.
මේ විෂයට අදාළ ජාත්යන්තර සංවිධාන සමඟ සමීපව කටයුතු කිරීමට ශ්රී ලංකා රජය ඉදිරිපත් වුණා නම් මේ සම්බන්ධයෙන් අපිට හඬක් නැගීම පහසු වෙනවා., එසේ කිරීමට අනන්ත අප්රමාණ අවස්ථා අපට තිබුණා. නමුත් ඒ අවස්ථාවලින් ප්රයෝජන ගැනීමට ශ්රී ලංකා රජය කිසිම උත්සාහයක් දැරුවේ නැහැ.
කැබිනට් ප්රකාශකතුමා ඊයේ කිව්වා, “නොබැදි ප්රතිපත්තියට පටහැනිව අප කිසිවක් කරන්නේ නැහැ” කියලා. ශ්රී ලංකාව ඒ ප්රතිපත්තිය අනුගමනය කරනවා කියලා. එය නාමමාත්රයෙන් පමණක් නෙමෙයි, ප්රායෝගිකව කරන්න ඕනේ.
1976 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය තිබුණු කාලයේදී විදේශීය රටවල නායකයින් 65 දෙනෙක් කොළඹ රැස්වුණා. කවදාවත් නොතිබුණු ගෞරවයක් ශ්රී ලංකාවට අත්වුණා. ඊටපස්සේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඒ නොබැදි සම්මේලනයේ සභාපතිතුමා වුණා, කියුබා රටේ හවානා නගරයේ පැවතුණු සම්මේලනයේ මූලාසනය ගත්තා ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා. මෙය ශ්රී ලංකාවට විශේෂ ගෞරවයක්, තේජසක් අත්වුණා. පදැන් එහි සෙවනැල්ලක්වත් ඉතිරි වෙලා නැහැ.
මේ සම්මේලන වලට සහභාගි වෙලා, අපි හඬක් නගලා, සමහර අවස්ථා වලදී අපිට නායකත්වය ගැනීමේ අවස්ථාව ලැබුණා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපති, ඒයෙන් ප්රයෝජන ගත්තා.
නමුත් වර්තමාන රජය ඒවායේ අපි නායකත්වය ගන්නවා තියා ඒවා අහලකටවත් යන්නේ නැහැ. ඉතින් ඒවායේ වැදගත්කම පිළිබඳවත්, අපේ රටට අහිමි වී යන ජාත්යන්තර සබඳතා සහ රාජ්යතාන්ත්රික අවස්ථා පිළිබඳවත් අපේ රටේ ජනතාව නිරන්තරයෙන් දැනුවත් විය යුතුයි.
විදේශ ප්රතිපත්තිය දුර්වල වීම හේතුවෙන් අද ශ්රී ලංකාවට කලාපීය හා ජාත්යන්තර වශයෙන් මුහුණ දීමට සිදුවී ඇති අභියෝග අතිමහත්ය. මේවාට නිසි ක්රමවේදයන් යටතේ විසඳුම් ලබා නොදුනහොත් රටක් ලෙස අපට ඉදිරියේදී තවත් බරපතල අර්බුදවලට මුහුණ දීමට සිදු වනු ඇත.
මේ මාධ්ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා
ඔක්තෝබර් පළවෙනි දා සිට අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ආණ්ඩුව තෙල් මිල ඉහළ දැමීම. මීට හේතුව වශයෙන් යුධමය හා ලෝක වෙළඳපොල මිල ගණන් වර්තමාන ආණ්ඩුව විසින් පෙන්වා දුන්නා.
ඒ වගේම කෝටි 4100 ක සහනයක් ඉදිරි මාස 03 ට ලබාදෙන බවත් ගම්පහ තිබුණු රැළියකදී ජනාධිපතිතුමා ප්රකාශ කළා. පසුගිය සැප්තැම්බර් 14 වැනිදා, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කිවේ තෙල් සංස්ථාව ලාභ ලබන නිසා තෙල් මිල වැඩි කිරීමේ අවශ්යතාවයක් නැති බවයි. නමුත් ඔහුම දින කිහිපයකට පසු පාඩුව දරාගත නොහැකි නිසා තෙල් මිල වැඩි කරන බව කියනවා.
ජනාධිපතිතුමා මේ කියන සහනාධාර කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්. මොකද අත්යාවශ්ය ආහාර ද්රව්ය සහල්, කිරිපිටි, සීනි, ළුණු, පරිප්පු, හාල්මැස්සන් වැනි ද්රව්යත්, නීතියට අනුව සිය ආදායම් ප්රකාශ කර ඇති වෘත්තීයවේදීන්ගෙන්, මෝටර් සයිකල් හා ත්රීවිල් ආනයනය කිරීමෙන් ලබාගන්නා බදු මුදල් වලින්, තෙල් සංස්ථාවට හා විදේශ තෙල් සමාගම් වලට ගෙවීම සහනාධාරයක් නොවේ. මෙය සම්පූර්ණයෙන්ම දුගී ජනතාවගේ බදු මුදල් භාවිතා කරලා, අධික සුඛෝපබෝගී වාහන පරිහරණය කරන්නන්ට දෙන සහනයක්ද.
පසුගිය ඔක්තෝම්බර් 01 දා singapore platts අනුව සාමාන්ය ඩීසල් බැරලයක් (ලීටර් 159 ක්) ඩොලර් 169 ක් ( 169 x 330 = 55,770 Rs ) විය. නව ආණ්ඩුව යටතේ ඩොලරය රු.30 කින් අව ප්රමාණය නොවුනා නම් මේ මිල (169 x 300 = 50,700 Rs) විය යුතුයි.
එමෙන්ම එදින පෙට්රල් 92 අලෙවි වූයේ බැරලය (ලීටර් 159) ඩොලර් 140 කටයි. (140 x 330 = 46,200 Rs) ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්රතිපත්ති නොවුනා නම් එය (140 x 300 = 42,000 Rs) විය යුතුය.
එනම් සාමාන්ය ඩීසල් ලීටරයකින් නැවට පැටවීමේ ගාස්තුව රු.350 ක් හා පෙට්රල් 92 ලීටරයකින් නැවට පැටවීමේ ගාස්තුව රු.290 ක් වෙනවා. කෙසේ වෙතත් මේ මිල ගණන් වලංගු වන්නේ නොවැම්බර් 01 දා සිට ය. තෙල් සංස්ථාව හා වෙනත් විදේශ ආයතන අපට විකුනන්නේ සැප්තැම්බර් මුල සතියේ singapore platts මිල ගණන් වලට නිසා.
සැප්තැම්බර් 01 දා singapore platts වලට අනුව ඩීසල් බැරලය ඩොලර් 159 ක් (159 x 330 = 52,470 Rs) ක් හා පෙට්රල් 92 බැරලය ඩොලර් 119 (119 x 330 = 39,270 Rs ) විය.
එනම් ඔක්තෝම්බර් 01 වෙනිදාට බලපාන ඩීසල් ලීටරයක නැව්ගත කිරීමේ ගාස්තුව ලීටරයක් රු.330 ක් ද පෙට්රල් 92 ලීටරයක් රු. 286 ක් ද වෙනවා.
එසේනම් ඩීසල් ලීටරයකින් රු.392 ක් ද, පෙට්රල් 92 ලීටරයකින් රු. 414 ක් ද වුනේ කෙසේද යන්න ගැන ජනාධිපතිවරයා මිල සුත්රය මගින් පැහැදිලි කළ යුතුයි. එහිදී ආනයනකරුවන්ගේ ලාභය, ආණ්ඩුවේ බදු විවෘතව ජනතාව ඉදිරියේ පැවසිය යුතුයි.
තමන් භාවිත කරන තෙල් වල මිල සාදන ආකාරය 2002 වසරේ සිට ජනතාවට විවෘත කළ අතර, 2022 – 24 කාලයේදිත් එය ක්රියාත්මක වුණා.
මම ජනාධිපතිතුමාට ඉතාම විවෘතව අභියෝගයක් කරනවා. ජනාධිපතිතුමා ඇත්තටම දත්ත වලට බයයි. 2002 කරු ජයසූරිය මැතිතුමා තෙල් කටයුතු පිළිබඳ බලශක්ති කටයුතු පිළිබඳ ඇමති වූ දවසේ සිට තෙල් මිල පිළිබඳව මිල සූත්රයක් තිබුණා. ඒ මිල සූත්රය ප්රසිද්ධ කළා.
විශේෂයෙන්ම 2023 – 24 වර්ෂ වල මේක ඕනෑම කෙනෙකුට දැනගන්න පුළුවන් පරිදි දිනපතා ප්රකාශයට පත්කරා. නමුත් මේ අය එය නැවැත්තුවා.
අපිට කමක් නැහැ මේ අය මිල සූත්රයට තිබෙන බය අපි දන්නවා. මේ ගැන කරුණු ගොනු කරලා මහාචාර්ය ජී. එල්. පීරිස් ඇමතිතුමාත්, මමත් ඇතුළු පිරිසක් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මේ වංචාව පිළිබඳ නිල කතන්දරය, නිල දත්ත එළියට එනවට බයේ තමයි මේ ජනාධිපතිතුමා මිල සූත්රය ප්රතික්ෂේප කරන්නේ. මම කියනවා පුළුවන් නම් මේ පිළිබඳ විස්තර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න, පාර්ලිමේන්තුවේ කමිටුවලින් විශේෂයෙන්ම කෝප් කමිටුවෙන් අපි ඉල්ලා හිටිනවා මේ ගැන කරුණු ඉදිරිපත් කරන්න කියලා.
ඊළඟට එතුමා කියනවා තෙල් පිරිපහදුව ලාභයිලු. කොහොමද ලාභ වෙලා තියෙන්නේ? ලාභ වෙලා තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට ඉතා අධික මිලට දැවි තෙල් විකුණපු නිසා.
රුපියල් 168ට තිබිච්ච දැවි තෙල් අද රුපියල් 210යි. ඒ කියන්නේ තෙල් සංස්ථා පිරිපහදුව විදුලි බල මණ්ඩලයට ගිනි පොලියට තෙල් දීලා, ඒකෙන් තමයි මේ ලාභ උපයන ක්රියාකාරීත්වය කරගෙන යන්නේ.
මොකද්ද මේකට හේතුව? හේතුව තමයි බාල ගල්අඟුරු වංචාව. මොකක්ද මේ ආණ්ඩුව කියන්නේ? මේ ආණ්ඩුව කියනවා මේ පළවෙනි මාස අටේදී ඩොලර් බිලියන හතරක් ගියා තෙල් ගෙන්නන්න. නැවත වතාවක් තෙල් කෝටා එක සීමා කරන්න යනවා කියලා. තෙල් කෝටා එක කියන්නේ දැනට මෝටර්සයිකලයකට, මෝටර් රථයකට, බස් එකකට, ලොරියට QR කේතයෙන් දෙන තෙල් ප්රමාණය. ඒක තවත් සීමා කරන්න යනවා. මේක යුක්ති සහගතද?
ඒ වගේම මේ අර්බුධය තවත් වැඩි දියුණු කරමින් හැම රටක්ම අද මොකක්ද කරන්නේ? මේ ගල්ෆ් යුද්ධය, එහෙම නැත්නම් හෝමුස් සමුද්ර සන්ධියේ ප්රශ්නය, බැබ්බෙල් මැන්ඩෙප් සුවස් ප්රශ්නය, එහෙම නැත්නම් යුක්රේන රුසියානු යුද්ධය, මේ නිසා ඩීසල් මිල ගණන් ඉහළ ගිහින් තියෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම ඇත්ත.
මේකට මොකක්ද උත්තරේ? සූර්ය බලය ප්රචලිත කිරීම. වෙන හැම රටක්ම කරන්නේ මොකක්ද? තමන්ගේ ස්වයංපෝෂිතභාවය වැඩි කර ගැනීම සඳහා සූර්ය බලය ප්රවර්ධනයයි කරන්නේ.
මේ රටේ නෙට් මීටරින් කියන ක්රියාවලිය 2010 ජූලි මාසේදී බලශක්ති ඇමතිවරයා හැටියට මම ආරම්භ කළේ. ඒකට විශාල විරෝධයක් ලංකා විදුලි බල මණ්ඩලයේ ඇතැම් දූෂිත නිලධාරීන්ගෙන් තිබුණා. එදා කුඩාවට ආරම්භ කරපු ඒ ව්යාපෘතිය අද 150,000ක වගේ නිවාස උඩ සූර්ය පැනල තියෙනවා.
මේ රටේ බලශක්තියෙන් සියයට 22ක් සපයනවා. 2500ක් මෙගාවොට් තියෙනවා. මේක 4000ක් කරන හැටි ගැනයි අපි කල්පනා කරන්නේ. ඒ වෙනුවට මොකක්ද අද කරලා තියෙන්නේ? මේ ජනාධිපතිතුමාගේ ඉතාම හිතවත් ව්යාපාරිකයන් දෙදෙනෙක්ගේ ද්විඅධිකාරියකට, මේ සූර්ය බලශක්තිය පාව දීලා නෙට් මීටරින්, නෙට් එකවුන්ටින් නවත්තලා, ධන කුවේරයෝ කිහිප දෙනෙකුට විතරක් ඒක කිරීමේ පහසුකම ලබා දී තියෙනවා.
කොයි රටේ කොයි මිනිහාද මේ වගේ අර්බුදයකට පත් වුණාට පස්සේ සූර්ය බලය ඉවත් කරන්නේ? කොටින්ම ෆිදෙල් කැස්තෙෘගේ කිව්බාවටත් සිද්ධ වුණා ඇමරිකාව සම්බාධක පැනෙව්වට පස්සේ අකමැත්තෙන් වුණත් වහල උඩ සූර්ය පැනල් දාන්න.
ෆිදෙල් කැස්තෙෘගේ ඩබල් පොකට් කමිස අඳින මේ රටේ අය අද ධන කුවේරයන්ට ඕන විදිහට මේ රටේ මිනිස්සු විසින් දියුණු කරපු සූර්ය බල ව්යාපාරය, මේ රටේ සුළු හා මධ්යම පරිමාණ ව්යවසායකයින් 1000කට අධික ප්රමාණයක් රටේ ගොඩ නගපු සූර්ය බල ව්යාපෘතිය අද විනාශ කර තිබෙනවා.
ඒ විතරක් නෙමෙයි ඊයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත් වාර්තාවක් මගින් පෙන්වා දෙනවා මේ ආණ්ඩුවේ කාඩරවරුන්ගේ පස්ස තියාගෙන යන්න ලක්ෂ 250 ක් වටිනා ඩබල් කැබ් රථ 1000 ක් ගෙන්වන්න යනවා කියලා. රට ආර්ථිකමය අතින් අර්බුධයක තිබෙන වෙලාවක ආණ්ඩුව මරු වැඩක් තමයි කරන්න යන්නේ. අපි අහන්නේ මේ කරන්න යන වැඩේ යුක්ති සහගතද?
ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ රටේ ජනතාවට ලැබුණු තෙල් මිලේ අයිතිය, ජනතාවට ලැබුණු තොරතුරු දැනගැනීමේ අයිතියි, ජනතාවට ලැබුණු ජීවත් වීමේ නිදහස වහාම තහවුරු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
මෙහිදී අදහස් දැක්වූ හිටපු රාජ්ය අමාත්ය අජිත් මාන්නප්පෙරුම මහතා
මම මුලින්ම අහන්න කැමතියි රටට සුබයිද? එහෙම නැතිනම් ඇමතිලට සුබයිද කියලා. එදා මේ ආණ්ඩුව බලය ගන්න කලින් රටේ ජනතාවට කිව්වේ වරායෙන් බාන මුදලට තෙල් ටික ලබා දෙන්නම් කියලා. නමුත් අද මොකද වෙලා තිබෙන්නේ.
රනිල් වික්රමසිංහ මහත්මයා 2024 මේ අයට රට බාරදෙනකොට පෙට්ට්රල් ලීටරය තිබුණේ රුපියල් 292 යි. අද පෙට්ට්රල් ලීටරය රුපියල් 414 යි. ඩීසල් මිල ගත්තත් ඒ වගේමයි. ගෑස් මිල් ගත්තත් ඒ වගේ තමයි. රනිල් වික්රමසිංහ මැතිතුමා මේ රට බාරගන්නකොට රට විශාල ඉන්ධන අර්බුධයක තිබුණේ වැඩි මිලටවත් ගන්න ඉන්ධන තිබුණේ නැහැ. නමුත් එතුමා රට බාරගෙන ඉන්ධන ගෙන්වලා ඒවායේ මිල අඩු කරලා ජනතාවට අවශ්ය සහන ලබාදුන්නා.
නමුත් අද ආණ්ඩුව මොකද කරන්නේ බොරු කිය කිය රට වටේ යනවා. මේකට හේතුව තමයි ආණ්ඩුවේ වැරදි කළමණාකාරීත්වය. මෙයාලා කිව්වේ බලයට එන්න කලින් අනිත් හැමෝම හොරු කියලා. නමුත් ඇත්තටම හොරු කවුද කියලා අද ජනතාව තේරුම් අරන් තිබෙනවා. මෙයාලගේ හොරකම්වල ප්රතිඵල අද රටේ ජනතාවට තමයි භුක්ති විඳින්න වෙලා තිබෙන්නේ.
රනිල් වික්රමසිංහ මැතිතුමා ජනාධිපතිධුරය දරණ සමයේ දශම ගණනක තිබුණු උද්ධමනය අද සියයට 8 ඉක්මවා ගිහින්. ලක්ෂ 36 ක් කාන්තාවන් රැකියා බලාපොරොත්තුවෙන් ඉන්නවා. සියයට 43 ක් වන උගතුන්ට රැකියා නැහැ. ඉතින් මෙවැනි තත්ත්වයක් උඩ ජනතාවට මේ රට හැර යනවා හැර වෙනත් විකල්පයක් නැහැ.
ඒ විතරක් නෙමෙයි මෙයාලා බලයට එන්න කලින් කිව්වා බෙහෙත් වලට තිබෙන වැට් එක ඉවත් කරනවා කියලා. නමුත් අද බොහෙත් මිල අහස උසට ගිහින්ලා. දුප්පත් මිනිහෙක්ට රජයේ ඉස්පිරිතාලෙකට ගිහින් ගන්න බොහෙත් නැහැත පිළිකා රෝහලේ පිළිකා රෝගීන්ට අවශ්ය කරන බෙහෙත් නැහැ. බෙහෙත් තියා ගෝස් කෑල්ලක්වත් නැති තත්ත්වයට ලංකාවේ සෞඛ්ය සේවය පත් වෙලා තිබෙනවා.
සියයට 11 ක්ව තිබුණු දුප්පත්කම සියයට 22 ක් දක්වා ඉහළ ගිහින්. දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට මන්ද පෝෂණය. මේවා අපි නෙමෙයි කියන්නේ. ජාත්යන්තර වාර්තා අරන් බලන්න අන්තර්ජාලයට ගිහින්. පසුගිය මාස 6ට විතරක් රටේ ජනතාව රුපියල් කෝටි 15000 ක රත්තරන් බඩු බැංකුවල උකස් තියලා. එතින් කොහාටද මේ රට තල්ලු වෙන්නේ.
ගොවියා සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. වී වලට සහතික මිලක් නැහැ. පොහොර ටික ගන්න නැහැ. ඉතින් මට අවසානයට අහන්න තිබෙන්නේ මේකද මේ ආණ්ඩුව කිව්ව පුනරුදය කියලා.
මෙහිදී අදහස් දැක්වූ සත්ය ගවේෂකයෝ සංවිධානයේ නිර්මාතෘ ප්රේම්නාත් සී. දොලවත්ත මහතා
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්මත වුණා. අපි දැන් බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුව කිව්ව විදිහට නඩු ඉක්මනින් විසඳෙන විදිහ. ඒ විතරක් නෙමෙයි මේ ආණ්ඩුවට බලයට පත්වු දා සිට ඉතිහාසයේ කවරදාකවත් නැති විදහට උපරිමාධිකරණ විනිශචයකාරවරුන්ගේ තනතුරුනවල හිස්තැන් මතුව තිබෙනවා. ඉතින් අපි ආණ්ඩුවට කියනවා තවත් කල් මරන්නේ නැතිව ඉක්මනින් මේ තනතුරුවල පුරප්පාඩු පුරවන්න කියලා.
ආණ්ඩුව බලයට ආවේ 76 වසරක සාපයක් ජනතාවට පෙන්වලා. නමුත් මේ 76 වසරෙම නොතිබුණු අදක්ෂ ඇමති මණ්ඩලයක් අද පත්වෙලා තිබෙනවා. හැම ක්ෂේත්රයකම අද ප්රශ්න ඇතිවෙලා. ජනතාව ඉතාමත් අසීරු තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.
මෙහෙම තිබෙන අවස්ථාවක තමයි ලංකාවේ ප්රබල අමාත්යවරයෙක් හරි අමුතු විදිහට උපාධි ප්රදානෝත්සවයකට යන්නේ. මන් හිතන්නේ එතුමා වටේ ඉන්න නිලධාරීන් එතුමාට කියන්න ඇති ඔය විදිහට යන්න එපා කියලා. නමුත් එතුමාගේ තිබෙන උද්දච්චකමට කවුරුත් කියන දේ අහන්නේ නැතිව එතුමා ඒ විදිහට යන්න ඇති.
මෙතුමා විතරක් නෙමෙයි මේ විදිහට උද්දච්ච විදිහට හැසිරෙන්නේ. තවත් බොහෝ අය ඉන්නවා මේ ආණ්ඩුව ඇතුලේ මේ විදිහට උද්දච්ච විදිහට හැසිරෙන. ඉතින් අපි මේ ආණ්ඩුවට කියනවා දැන්වත් ඔය උද්දච්චතම නැති කරගන්න. වැරදි තැන් නිවැරදි කරගෙන හරි මාර්ගයට එන්න. මොකද මේ දේවල්වලින් විනාශ වෙන්නේ ඔබෙත් මගේ රට කියන එක මතක තියාගන්න කියලා මා ප්රකාශ කරනවා.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය
2026 ඔක්තෝබර් 05






















