රාමඤ්ඤ මහනිකායේ මහනායක අග්ගමහාපණ්ඩිත, අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහා ස්වාමීන් වහන්සේගේ ශ්රී දේහයට අග්රාමාත්යතුමා අවසන් ගෞරව දක්වයි
ශ්රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අග්ගමහාපණ්ඩිත, අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහා ස්වාමීන් වහන්සේගේ ශ්රී දේහය තැන්පත් කර ඇති හුරීකඩුව ශ්රී විද්යාසාගර පිරිවෙන් මූල මහා විහාරයට අද 2020.11.22 දින පෙරවරුවේ පැමිණි ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උන්වහන්සේට අවසන් ගෞරව දැක්වූයේය.
මහනුවර, හුරීකඩුව ශ්රී විද්යාසාගර මහා පිරිවෙනේ අධ්යක්ෂ හා විහාරාධිපති, ශාසනසෝභන, ත්රිපිටකවාගීශ්වරාචාර්ය, සිරි සීලවංශ වංශාලංකාරධර, ත්රිපිටකවාගීශ්වර රාජගුරු, ත්රිපිටක චක්රවර්ති, පරියත්ති විශාරද, ශාසනකීර්ති ශ්රී, රාජකීය පණ්ඩිත, විනයාචාර්ය, විනයවිශාරද, අග්ගමහාපණ්ඩිත වැනි ශාසනික නාමෝපාධි වලින් පිදුම් ලද ශ්රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක ධුරන්ධර, අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහනායක මහා ස්වාමින්වහන්සේ බුද්ධ ශාසනයට කළ මෙහෙවර අනගිභවනීය බව අග්රාමාත්යතුමා මෙහිදී මහා සංඝරත්නය හමුවේ පැවසීය.
අල්පේච්ඡ නිරහංකාර ජීවිතයක් ගත කරමින් ශාසනයේ දියුණුව සඳහා ඇප කැප වී කටයුතු කළ, අපවත් වී වදාළ අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහා ස්වාමීන්ද්රයක් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවා! යි ප්රාර්ථනා කරමින්, සංවේගයට පත් ශ්රී ලංකා රාමඤ්ඤ මහනිකායේඅභිනව මහනායක ස්වාමීන්ද්රවර ප්රමුඛ මහා සංඝරත්නයට මෙම අවස්ථාවේදී අග්රාමාත්යතුමා ශෝකය පළ කළේය.
සම්බුද්ධ ශාසනයට පහළ වූ උතුම් බුද්ධ පුත්රයකු වූ උන්වහන්සේට අමාමහ නිවන් සුව අත්වේවායි! ප්රාර්ථනා කරමින් අග්රාමාත්යතුමා මෙහිදී සිය ශෝක පණිවුඩය ද ලියා තැබුවේය.
මෙහිදී අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අභිනව මහනායක මාහිමි ධූරයට පත් වූ මහා විහාර වංශික, ශ්රී ලංකා රාමඤ්ඤ මහනිකායේ චතුත්දස මහනායක, මීරිගම මිනිඔලූව විද්යාවාස මහා පිරිවෙන් විහාරාධිපති, අග්ගමහාපණ්ඩිත, අතිපූජ්ය මකුලෑවේ විමල මහනායක ස්වාමීන්වහන්සේ බැහැ දැක උන්වහන්සේට සුබ පැතුම් එක් කරමින් ආශිර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාව සඳහා රාජ්ය අමාත්යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ලොහාන් රත්වත්තේ, උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.






















