හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිචෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබෙන රිට් පෙත්සම විභාගයට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය නොවැම්බර් මස 01 වෙනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියම කළේය.
එම පෙත්සම අද (29) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය කෙරුණි.
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් ඔහුව නම් කර තිබුණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකාර වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවට පෙත්සමෙන් දක්වා ඇති කරුණු සාවද්‍ය බව පැවසුවේය.
විත්තිකාර කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා තවදුරටත් පවත්වාගෙන නොයාමට පමණක් මෙහිදී නීතිපතිවරයා තීරණය කර ඇතැයි සඳහන් කළ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා කෙසේ වෙතත් අදාළ නඩුවේ සෙසු විත්තිකරුවන් 13දෙනාට එරෙහි අධිචෝදනා අඛණ්ඩව විභාග කෙරෙනු ඇති බවත් අධිකරණය හමුවේ අවධාරණය කළේය.






















