Monday, November 9, 2026
HomeNEWSරිවර්ස් සරදියෙල් විදුලි බිල-උදය ගම්මන්පිල මහතා පවසයි.

රිවර්ස් සරදියෙල් විදුලි බිල-උදය ගම්මන්පිල මහතා පවසයි.

රිවර්ස් සරදියෙල් විදුලි බිල

මෙරට දුප්පත් ජනතාවට විදුලි බිල වැඩිවීම 1138% වෙද්දි පොහොසතුන්ගේ විදුලි බිල වැඩිවීම 160% ක් වන බැවින් මෙය රිවර්ස් සරදියෙල් ක්‍රමය ලෙසින් හැඳින්විය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහාතා මේ බව සදහන් කර සිටියේ 2023.05.26 දින කොළඹදී පැවති “ජනතාව පෙළන විදුලි බිල අඩු කළ නොහැකිද?” සම්මන්ත්‍රණය හා එක් වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

විදුලි බිල වැඩි කිරීම ඇතුලේ වංචා ගණනාවක්

විදුලි බිල වැඩියි. මොනවා කරන්නද? ආණ්ඩුව විදුලි නිෂ්පාදන වියදම විදුලි පාරිභෝගිකයාගෙන් මිස වෙන කාගෙන් අය කර ගන්නද? එහෙම කියලා බොහෝ දෙනෙක් හිත හදා ගත්තා. නමුත් ආණ්ඩුව කලේ ජනතාවට වංචාවක්. කොලේ වසා ගැසීමක්. අන්න ඒ වංචාව හෙලිදරව් කරන්න තමයි අද අපි මෙතැනට ආවේ. මේ විදුලි බිල වැඩි කිරීම ඇතුලේ වංචා ගණනාවක් තිබෙනවා.

1) දිළින්දන්ගෙන් වැඩි මිලක් අය කරගෙන පොහොසතුන්ට සහන දීම.

2) විදුලි බිල වැඩි කලාම ඉල්ලුම අඩුවීම නොසලාක හැරීම.

උසස් පෙළ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න දරුවෙක් පවා මේකෙ ඉගෙනගෙන කියනවා. විදුලි මිල වැඩි වන විට විදුලියට ඇති ඉල්ලුම ද අඩු වෙනවා. විදුලි ඉල්ලුම අඩු වෙද්දී අපට ඩීසල්වලින් විදුලිය හැදීමට ඇති අවශ්‍යතාවය අඩු වෙනවා නම් රුපියල් 96 කට පමණ ඇස්තමේන්තු කරලා තිබෙන ඩීසල් විදුලිය අඩු කරන්න පුළුවන්. විදුලි බිල වැඩි කලත් මේ කිසිම අවස්ථාවක දී විදුලි බිල වැඩි කිරීමේ දී අඩු වන ඉල්ලුම ගණනය කර නැහැ.

3) ලෝක වෙළඳපොලේ තෙල් මිල සහ ගල්අඟුරු මිල බරපතල ලෙස කඩා වැටීම නොසලකා හැරීම.

2022 යුක්රේන යුද්ධය පටන් ගත්තාට පස්සේ තෙල් ගල් අඟුරු මිල වැඩි වුණත් මේ වසරේ එය පහළ බැහැලා තියෙනවා. පෙබරවාරි මාසයේ මිල සූත්‍ර හදද්දි මේක හැමෝම දැනගෙන සිටියත් මෙම මිල පහත යෑම නිසා විදුලිය නිපදවීමේ පිරිවැය අඩු වීමේ සහනය විදුලි බිලට ලබාදී නැහැ. ආර්ථිකය හැකිලීම නම් ගණන් බලලා තිබුණා.

4) විදුලි බල මණ්ඩලය අඩු පිරිවැය විදුලි ප්‍රබව වලට යොමු නොවීමෙන් සිදුවන දැවැන්ත පිරිවැය අඩු කිරීමට උත්සාහ දරනවා වෙනුවට ජනතාව මත පැටවීම.

විදුලිබල මණ්ඩලය දිගු කලක පටන් හරිම ලේසියට ඩීසල්වලින් විදුලිය හදනවා. මේ වසරේ ඇස්තමේන්තුව ඒකක එකකට පිරිවැය රුපියල් 96.74. මීට වඩා විකල්ප දේවල් නැද්ද? ස්වභාවික වායු ගැන අවධානය යොමු කළ යුතුයි. අපේ ඇමතිධූර නැති වීමටත් එක හේතුවක් තමයි ඒ සඳහා ලොකු සටනක් දීම. ස්වභාවික වායු විදුලිබලාගාර ගෙන ඒම සූර්ය ශක්තිය භාවිතයට ගැනීම කාරණා හරහා විදුලි බිල අඩු කර ගැනීමට හැකියාව තිබියදී එම අවස්ථාවන් මග හැරලා වැඩි මිලට විදුලිය හදනවා. අනතුරුව පාරිභෝගිකයාගෙන් අය කර ගන්නවා.

5) යටිතල පහසුකම් නවීකරණය නොකිරීමෙන් සිදුවන නාස්තිය සහ දූෂණයේ පිරිවැය ජනතාව මත පැටවීම

මෙන්න මේ කාරණා පහ නිසා තමයි අපි විදුලි බිල වැඩි කිරීමේ දැවැන්ත වංචාවක් තියෙනවා කියලා කියන්නේ.

මින් පළමු කාරණය අසාධාරණත්වය ගැන අපි සලකා බලමු.

රිවර්ස් සරදියල්

2022 අගෝස්තු මාසයේ මාසයකට ඒකක 30ක් දක්වා පාවිච්චි කරන පාරිභෝගිකයින් ඒකකයට ගෙව්වේ රු2.50යි. අද ඒක රු30යි. ඒ අයගෙන් අය කළ ස්ථාවර ගාස්තුව රු30 සිට රු 400 දක්වාත් වැඩි වුණා. එහෙම බලන විට මාසයකට ඒකක 30ක් භාවිතා කරන පාරිභෝගිකයෙකුට බිල වැඩි වීම 1138%ක්. මම වැරදි නම් මාව නිවැරදි කරන්න. මේ ලෝකයේ කිසිම රටක කිසිම දිනකය එතරම් දැවැන්ත මිල වැඩි කිරීමක් කෙටි කාලයක් ඇතුළත කරලා නෑ. මාස හතක් ඇතුළත 1138% වැඩි වීමක් තියෙනවා.

මාසයකට ඒකක 30ක් කියන්නේ දවසට එක ඒකකයක්. විදුලි බුබුළු දෙකක් රූපවාහිනිය ජංගම දුරකතනය සහ ඇඳුම් මදින ස්ත්‍රික්කයට වඩා දෙයක් ඒ ගෙදර නෑ. විදුලි බුබුළු දෙකක් කියන්නේ යන්තම් කුස්සියේ සහ සාලයේ විතරයි විදුලි බුබුළු පත්තු වෙන්නේ. තාත්තා රූපවාහිනි බලන අයියා යාළුවෝ එක්ක කතා කරන තැනමයි නංගි පාඩම් කරන්නේ. ලංකාවේ විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 68න් ලක්ෂ 15ක්ම විදුලිය භාවිතා කරන්නේ ඒකක 30ට අඩුවෙන්. පොහොසත් ජනතාවට බිල වැඩි කලා නම් ඒ අයට වැඩිපුර විදුලි බුබුළු නිවා දමන්න පුළුවන්. සතියේ ඇඳුම් එකවර මැද ගන්න පුළුවන්. පරණ පුරුදු ජීවිතයම ඕනෑ නම් වහල උඩ සූර්ය පැනලයක් සවි කරන ගන්න පුළුවන්. එහෙම කලොත් ගල්අඟුරු සහ තෙල් වලට රටින් පිටට යන විදේශ විනිමයත් ඉතිරි වෙනවා. ගෙදර සාලයට මුළු පවුලම රොක් වෙලා එක විදුලි බුබුළක් දල්වා ගෙන ඉන්න පවුලකට බිල වැඩි කලා කියලා අරපිරිමැස්මක් කරන්න පුළුවන් ද? එකම විදුලි බුබුළත් නිවා දමා කළුවරේ ඉන්නද කියන්නේ?

මේ අයට 1138% විදුලි බිල වැඩ කරන අතරේ ඒකක 180ක් භාවිතා කරන අයට වැඩි කලේ කීය ද? 2022 අගෝස්තු මාසයේ දී ඒකක 180ක් භාවිතා කරන අයෙකුට මාසික බිල 3,755යි. ඒකක කාණ්ඩ අනුව වෙන වෙනම ගණන් කරලා බැලුවාම දැන් ඒක 9,780යි. ඒ කියන්නේ බිල වැඩිවීම 160%යි. දුප්පත් මිනිහාට බිල වැඩිවීම 1138%යි. පොහොසත්ම මිනිහාට 160%යි. මේක සාධාරණ ද? එහෙම නම් මොකක්ද මේ කරලා තිබෙන්නේ ? දුප්පතාගෙන් වැඩිපුර අය කරගෙන පොහොසතාට සහන දීම.

ලංවිම 2023 වසරේ ජලයෙන් විදුලි ඒකක මිලියන 4,000ක් නිපදවීමට බලාපොරොත්තු වෙනවා. ඒ ගණන විදුලි පාරිභෝගිකයින් මිලියන 6.8න් බෙදුවාම එක් මාසයකට සෑම පාරිභෝගිකයෙකුටම ඒකක 49ක් රු3.50 ගණනේ ලබා දිය හැකියි. මොකද ජලවිදුලි ඒකකයක නිෂ්පාදන වියදම රු3.05යි. නමුත් ලංවිම පළමු ඒකක 30ට අය කරන්න යෝජනා කලේ රු30 ගණනේ. ඊට පස්සේ ක්‍රමයෙන් වැඩි වෙනවා. නමුත් සුපිරි මහල් නිවාස, රජයේ කාර්යාල, බැංකු සාප්පු සංකීර්ණ වගේ ඒවාට අය කරන්නේ පළමු ඒකක 180ටම රු40යි. ඊට පස්සේ රු47යි. රු 3ට හදන ජලවිදුලි ඒකකයක් රු 30 රු 50ට දුප්පත් ජනතාවට විකුණන්නේ දැවැන්ත විදුලි බිල් හදන පාරිභෝගිකයාට සහන දෙන්න. මේක ධනවතුන්ගේ විදුලි බිල දුප්පතුන් ලවා ගෙවීමක්.

ලෝකය පුරාම කරන්නේ සමාජ සාධාරණත්වයේ නාමයෙන් සරදියල් ක්‍රමයට ධනපතියන්ගෙන් අරගෙන දිළින්ඳන්ට දෙනවා. රිවර්ස් සරදියල්ට රඟපාන කාංචන ඇමතිතුමා දිළින්ඳන්ගෙන් අරගෙන ධනපතියන්ට දෙනවා.

2023 පෙබරවාරි මාසයේ දී විදුලි බල ඇමති හරි අපූරු කතාවක් රටට කිව්වා. 2023 වසරට ඒකක මිලියන 16,520ක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කරලා තිබුණා. ඒ අවශ්‍යතාවය නිපදවන්න රු බි 722.4ක් වැය වෙනවා කියා ගණන් හදලා තිබුණා. නමුත් ඒ වනවිට මණ්ඩලයේ ආදායම රු බි 434.8යි. ඒ නිසා සමස්ත වියදම පියවා ගන්න නම් මණ්ඩලයේ ආදායම රු බි 287.6කින් වැඩි කර ගන්න ඕනි. ඔන්න අය ගණන් හැදීම අනුව තමයි 66% විදුලි බිල වැඩි කිරීමක් කළ යුතු බව අපට කිව්වේ.

මේ ගණන් හැදීමට විදුලි බිල වැඩි වුණාම ඉල්ලුම අඩු වෙන බව ගණන් බලා තිබුණේ නෑ. 1138%කින් විදුලි බිල වැඩි කලාම කාටද පුළුවන් පරණ විධියට විදුලිය පාවිච්චි කරන්න. 2022 ජනවාරි දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 47යි. 2023 ජනවාරි ගිගාවොට් පැය 41යි. ඒ 2022 අගෝස්තු මාසයේ බිල වැඩි කළ නිසා. පෙබරවාරි මාසයේ නැවත වතාවක් දැවැන්ත විදුලි බිල වැඩි කිරීමක් කලා. දෛනික ඉල්ලුම ගිගාවොට් පැය 47 සිට 41 දක්වා ගිගාවොට් පැය 6කින් අඩු වෙනවා නම් වාර්ෂික නිෂ්පාදන අවශ්‍යතාවය ගිගාවොට් පැය 2,190 අඩු වෙනවා. මේ විදුලි නිෂ්පාදනය අඩු කරන්න ඕනෑ මොකෙන්ද? වැඩිම පිරිවැයක් තිබෙන විදුලි බලාගාර වලින්.

විදුලි බල මණ්ඩලයේ තාප විදුලි බලාගාර වලින් එක ඒකකයක් නිෂ්පාදනය කරන්න රු 96.46ක් වැය වෙනවා. ඒ නම් මේ අඩු කිරීම කරන්න ඕනෑ ඒ බලාගාර වල නිෂ්පාදනය අඩු කිරීමෙන්. එවිට ඒකකයට රු96.46 ගණනේ ගිගාවොට් පැය 2,190ට රුබි 211.2ක් විදුලි පිරිවැය අඩු වෙනවා. 67%කින් විදුලි බිල වැඩි කලේ රුබි 287.6කින් ආදායම වැඩි කර ගන්න. දැන් ඒක 211.2ක්ම පිරිවැය අඩු වුණාම විදුලි බිල වැඩි කරන්න ඕනෑ වෙන්නේ රුබි 76.4කින්. ඒ කියන්නේ ඉල්ලුම බොරුවට වැඩි කරලා පෙන්නුවේ නැතිනම් විදුලි බිල වැඩි කරන්න වෙන්නේ 67%කින් නොවේ 18%කින්. ඇත්තම කියනවා නම් ඒකත් වැඩි කරන්න ඕනෑ නෑ.

පසුගිය වසර එක්ක බලන විට ලෝක වෙළඳපොලේ තෙල් මිල වගේම ගල් අඟුරු මිල බරපතල ලෙස පහත වැටුණා. ගල් අගුරු මිල පහත වැටීම 55%ක්. ඩීසල් මිල පහත වැටීම 25%ක්. ඒ බව පෙබරවාරි වෙන විට හොඳටෝම දන්නවා. මිල ඇස්තමේන්තු හදලා තිබෙන්නේ ඒවා නොසලකා. ඒකත් සලකා ගණන් හැදුවා නම් 67%කින් මිල වැඩි කරනවා වෙනුවට 30%කින් විදුලි බිල අඩු කිරීමයි කළ යුත්තේ.

ආසියාවේ වැඩිම විදුලි බිල තිබෙන රටවල් අතරට

අවසානයේ දී ආයෝජන මණ්ඩලය මොන තරම් ප්‍රචාරය කළත් ලංකාවට ආයෝජකයෝ එන්නේ නෑ. පොහොසත් ජනතාවට සහන දෙන්න කර්මාන්ත හිමියන් මත ඒ බර පටවලා තිබෙන්නේ. ආසියාවේ වැඩිම විදුලි බිල තිබෙන රටක් ලංකාව. අද ලංකාවේ ඉන්න කම්හල් හිමියොත් ඒවා වහලා දාලා බංගලිදේශයට වියට්නාමයට යනවා. ප්‍රධානම හේතුවක් දරා ගන්න බැරි අසාධාරණ විදුලි බිල.

විදුලි නිෂ්පාදනයේ පිරිවැය විදුලි පාරිභෝගිකයින්ගෙන් අය කර ගැනීමට අපි විරුද්ධ නෑ. ඒකට සහනාධාර දෙන්න කියා බංකොලොත් වුණු ආණ්ඩුවකට අප කියන්නේ නෑ. නමුත් කර්මාන්ත වැසෙන් අයුරෙන් දිළිඳු ජනතාව අඳුරේ තබන අයුරෙන් මේ විදුලි බිල වැඩි කිරීමට අපි විරුද්ධයි. මේ සංකීර්ණ ගණන් කිරීම් ජනතාව දන්නේ නෑ. දැන ගත්තත් තේරෙන්නේ නෑ. මහජන මුදලින් අධ්‍යාපනය ලැබූ අය විධියට අපට යුතුකමක් තිබෙනවා මේ ගැන රට දැනුම්වත් කරන්න. අසාධාරණ විදුලි බිලට එරෙහිව හඬ නගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අප ඔබට ආරාධනා කරනවා.

මෙම සම්මන්ත්‍රණය අමතමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, හිටපු බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල, විදුලි ඉංජිනේරු සංගමයේ උප සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ යන මහත්වරුන් දෙසුම් පැවැත්වූහ.

මහජන පවුර සභාපති ප්‍රසන්න අමරතුංග මහතා ඇතුළු මහජන පවුර සාමාජිකයන් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරණ ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img