සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන රුපියල් 5000 දීමනාව අද (13) පස්වරුව වන විට පවුල් ඒකක ලක්ෂ 17කට ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
කෙසේවෙතත් ඊයේ (12) දිනයේ සහ අද දිනය තුළ එම මුදල් ලබාගැනීමට නොහැකි වූ පවුල් සඳහා එළඹෙන 15 වනදා සිට එම මුදල් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
කොවිඩ් නිසා බලපෑමට ලක්වූවන්ට උත්සව සමය වෙනුවෙන් රුපියල් 5000ක දීමනාව ලබා දෙන්නේ කාණ්ඩ 7ක් යටතේ ප්‍රතිලාභී පවුල් තෝරාගනිමිනි.
ඒ අනුව, ඊයේ (12) ආරම්භ කෙරුණු රුපියල් 5000ක දීමනාව ලබා දීම අදත් ක්‍රියාත්මක කෙරුණි.
අද දීමනාව ලබා ගැනීමට නොහැකි වු ප්‍රතිලාභීන්ට ඉදිරි දිනකදී එය ලබා ගැනීමට හැකි අතර ආබාධ සහිත ප්‍රතිලාභීන්ට නිවෙස් වෙත ගොස් රුපියල් 5000ක දීමනාව ලබා දීමට සමෘද්ධි නිලධාරීන් කටයුතු කර තිබේ.
කෙසේවෙතත් මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැහිඇල්ල ප්‍රදේශයේ රුපියල් පන්දහසේ මුදල බෙදාදීමේදී අද දහවල් උණුසුම් තත්වයක් ඇති වී තිබුණි.
ඒ රුපියල් 5000ක මුදල ලබා දීමේදී “දිරිය මාතා“ නැමති ගිණුමකට රුපියල් 2000ක තැන්පතු මුදලක් ලබාගත් බවට පිරිසක් චෝදනා කරමිනි.
එහිදි පැමිණි පිරිස් සඳහන් කළේ, එම ගිණුමට රුපියල් 2000ක් ලබාගෙන ඉතිරි මුදල ලබාදුන් බවය.
ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට එම ස්ථානයට කුරුණෑගල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් ද පැමිණි බව අප වාර්තාකරු පැවසීය.
පසුව පැමිණ සිටි සියලු දෙනාටම රුපියල් 5000ක මුදල එලෙසම ලබා දීමට කටයුතු කර තිබුණි.






















