සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ගේ අරගලයට පහරදී ගැටලුව යටපත් කිරීමට උත්සාහ කළහොත් වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කිරීමටත් එම ශිෂ්‍යයන්ට සහයෝගය ලබා දීමටත් සිදුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අනතුරු අඟවයි.සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ගේ ගැටලුවට පිළියමක් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ව සීමාවාසික පුහුණුවට අනුයුක්ත කළ හැකි බව එම බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කරයි.මේ සඳහා මුදල් අමාත්‍යාංශයට අමතර ප්‍රතිපාදන ලබාදිය නොහැකි නම්, පරිපූරක වෛද්‍ය වෘත්තියවේදි ඩිප්ලෝමාධාරීන් පුහුණුව සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන භාවිත කිරීම සෞඛ්‍ය ලේකම්වරයාගේ එක පෑන් පහරකින් සිදු කළ හැකි බව එම බල මණ්ඩලය පෙන්වා දෙයි.වසර පහක පමණ කාලයක් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ ඩිප්ලෝමා පාඨමාලාවට සිසුන් බඳවාගෙන නොමැති නිසා ඉදිරියේදී කිසිදු පරිපූරක වෛද්‍ය වෘත්තිකයකු ඩිප්ලෝමා පාඨමාලා සඳහා බඳවා නොගන්නා නිසාත් ඒ සඳහා අනවශ්‍ය ලෙස වැය කර කරන ලද ප්‍රතිපාදන, උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුවට යෙදවීම මගින් සියලු ගැටලු විසඳාගත හැකි බව ඔවුන් සඳහන් කරයි.එසේ අවස්ථාවක් තිබියදීත් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිවකු තීරණ නොගෙන සිටීම මගින් බරපතළ අර්බුදයක් නිර්මාණය වී තිබේ.මෙම උපාධිධාරීන් සීමාවාසික පුහුණට අනුයුක්ත කිරීමෙන් අනතුරුව, ඔවුන් රැකියාවට බඳවා ගැනීමේ ගැටලුව විසඳීම සඳහා මාස හයක කාලයක් රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන නිසා මෙම අර්බුදය සම්පූර්ණයෙන්ම සාමකාමීව විසඳා ගැනීමට හැකියාව තිබියදී, උපාධිධාරීන්ව පාරට බස්සවා, ඔවුන්ට පොලිසිය මගින් ප්‍රහාර එල්ල කර සිරගත කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව එහි සභාපති රවි කුමුදේශ් සඳහන් කරයි.පරිපූරක වෛද්‍ය සේවාවේ අනුමත නිලධාරී සංඛ්‍යාව වසර විස්සකින් පමණ කාලයක සිට යථාවත් වී නොමැති නිසා දැනට අනුමත නිලධාරී සංඛ්‍යාව සේවාව පවත්වාගෙන යාම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොමැත.අනුමත නිලධාරී සංඛ්‍යාව යාවත්කාලීන කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කර ඉදිරිපත් කරන ලද ඉල්ලීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට එකඟතාව ලබා දිය හැකිනම්, කිසිදු විභාගයකින් තොරව මෙම සියලු උපාධිධාරීන් සේවයට බඳවා ගත හැකි බවද ඔවුන් සඳහන් කරයි.






















