භාණ්ඩ රැසක මිල ගණන් ඉහළදැමීමට එරෙහිව අද (12) දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විරෝධතා පැවැත්වුණි.
ගෙවුණු සතියේ මෙරට ප්‍රධාන පාරිභෝගික භාණ්ඩ කිහිපයකම මිල ගණන් ඉහළ නැංවුණි.
පාලන මිල ඉවත්කිරීමත් සමග මුලින්ම ඉහළ ගියේ හාල් මිලය.
ඉන් පසු ගෑස් මිල 80% ඉක්මවා වැඩිවෙද්දී , කිරිපිටි කිලෝවක් රුපියල් 250 කින්, තිරිඟුපිටි කිලෝවක් රුපියල් 10 කින්, සිමෙන්ති කොට්ටයක් රුපියල් 93 කින්, පාන් ගෙඩියක් රුපියල් 5 කින් මිල වැඩිකෙරුණි.
එසේම, ආපනශාලාවල අලෙවි කෙරෙන බත් පැකට්ටු, කිරි තේ, එමෙන්ම සියලු බේකරි නිෂ්පාදනවලත් මිල ඉහළ ගියේ පාරිභෝගිකයාගේ වැය ශීර්ෂය ඉහළ නංවමිනි.
එලෙස ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ඉහළ යාමත් සමඟ වඩාත් දුෂ්කරතාවට මුහුණදුන්නේ පාරිභෝගිකයාය.
එමෙන්ම මිල ඉහළ දමන ලද භාණ්ඩවල හිඟයක් තවමත් වෙළෙඳපොළේ පවතින බව ජනතාව පවසති.
පිටකොටුව සහල් තොග වෙළෙඳපොළේ මිල ගණන් කෙසේදැයි අප සොයා බැලීමක් කළේය.
එහිදී දක්නට ලැබුණේ රජය පාලන මිල ඉවත් කළ පසු මහා පරිමාණ සහල් මෝල් හිමියන් ප්‍රකාශයට පත්කළ මිලටත් වඩා වැඩියෙන් සහල් අලෙවි කෙරෙන ආකාරයයි.
වෙළෙඳුන් පෙන්වා දෙන්නේ මේ වන විට එළවළුවල මිල ගණන්ද ඉහළ යමින් පවතින බවය.
මේ තත්ත්වයට විරෝධය පළකරමින් ප්‍රදේශ කිහිපයකම ජනතාව මෙන්ම දේශපාලන පක්ෂ ද විරෝධතා පැවැත්වුණි.
ඒ අතර ගෑස් සමාගම් සහ සිමෙන්ති සමාගම් පවසන්නේ මිල වැඩිකිරීමෙන් තම පාඩුව ආවරණය වීම පමණක් සිදුව ඇති බවය.
කිරිපිටි ආනයන සමාගම්ද පවසන්නේ ලෝක වෙළෙඳපෙළේ තත්ත්වය තුළ තමන්ට ලාභයක් නොමැතිව තවදුරටත් වෙළෙඳාමේ නිරතවීමට සිදුව ඇති බවය.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.7කි.
එය මේ මාසයේ සිට තවත් ඉහළ යනු ඇති බව වාර්තා වේ.
මතුව ඇති මෙම උද්ධමනකාරී වාතාවරණය තුළ මහ බැංකුව තවදුරටත් මුදල් මුද්‍රණය කළහොත් අධි උද්ධමන තත්ත්වයක් ඇති විය හැකි බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා අනතුරු අඟවයි.
“උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක කිරීම මගින් වෙළෙඳපොළ මර්දනය කිරීමට තමයි කටයුතු කරලා තියෙන්නේ. ගැසට් ඉවත්කර ගත් පසුව හරියට අර ප්‍රෙෂර් කුකර් එකක ඇතුළත වැඩි දියුණුවෙලා තිබෙන ප්‍රෙෂර් එක සේෆ්ටි වෑල් එක හරහා එළියට පනිනවා වාගේ අද වෙළෙඳපොළ තුළ එළියට පැනලා තිබෙනවා. මහ බැංකුව මුදල් නෝට්ටු මුද්‍රණය කරලා මේ ඇති වුණ මිල වැඩිවීමට බලයක් සැපයීම වුවහොත් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ අර එකවරක් පමණක් වැඩි වුණ මිල වැඩිවීම සදාකාලික මිල වැඩිවීමක් බවට පත්වෙලා. අධි උද්ධමනයක් බවට මේක පත්වෙන්න පුළුවන්. “
එමෙන්ම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අර්ථික විද්‍යා විශ්ලේෂක කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා කියා සිටියේ,
“සාමාන්‍ය පවුලකට දුප්පත්කමට නොවැටී සිටිමට නම් අවම වශයෙන් මාසයකට රුපියල් 21,500ක ආදායමක් පැවතිය යුතු වෙනවා හතර දෙනෙකුගෙන් යුතු පවුලකට. ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ පැස ලබාගැනීමට ඇත්තටම 21,500 නොවේ රුපියල් 30,000ක විතර ආදායමක් ලැබිය යුතු තත්ත්වයක පසුවෙන්නේ. අපි මේ දුප්පත්කම මනින්නේ යල් පැන ගිය දර්ශකයකට අදාළව. ආදායම් මාර්ග අහිමිවී ඇති රැකිරක්ෂා අහිමිවෙලා තිබෙන පිරිසට මේ මිල ඉහළයෑම ඉතාමත්ම දරුණු ලෙස බලපානවා, “ යනුවෙනි.






















