Thursday, July 30, 2026
HomeNEWSවිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28
ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,
ලංකාව දැනටමත් ප්‍රමාදයි…
නීතිඥ අකලංක උක්වත්ත
ජනවරමේ නීතිඥයෝ ලෙස අපි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ, 2024 මේ රටේ ජනතාව ලබාදුන් ජන වරම කුමක්ද, ඒ ජනවරමට අනුගතව වර්තමාන ආණ්ඩුව කෙසේ කටයුතු කරනවාද, ව්‍යවස්ථා සංශෝධනය ඊට අනුරූපීද යන්න පැහැදිළි කිරීමටයි.
වර්තමාන ජනාධිපතිතුමාටත් පාර්ලිමේන්තුවේ 159ක මන්ත්‍රීවරුන් වෙතත් ජනතාව වරමක් ලබාදුන්නා. මේ ජන වරමේ සුවිශේෂී සහ සියුම් හරය වී තිබෙන්නේ අපරාධ රාජ්‍යයක් ලෙස පවතින අපේ රට තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමයි. දූෂණය, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ නිසි අධිකරණ ක්‍රියාවලියක් තුළ විභාග කරමින් වැරදිකරුවන්ට දඬුවම් පැමිණ වීමයි. ජනවරමේ අභිප්‍රාය තවදුරටත් සක්‍රීය කිරීම සඳහා ආණ්ඩුව මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් වඩාත් හොඳින් ජනතා අපේක්ෂා ඉටුකරන්න සැලසුම්කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(V) ව්‍යවස්ථාව අනුව අභියායචනාධිකරණයේ ගරු විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස් සීමාව 63 සිට 65 දක්වාත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස් සීමාව 65 සිට 67 දක්වාත් ඉහළ දැමීමේ යෝජනාවලියක් අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කර ගත්තා. ඒ වගේම අගවිනිසුරුතුමාගේ වයස් සීමාව 67 හෝ එම ධූරයට පත්වී උපරිම අවුරුදු හයක සීමාවක් බවට සංශෝධනය කරන්න යෝජනා කර තිබෙනවා.
ඊට අමතරව 137 ව්‍යවස්ථාවට සංශෝධනයක් එක් කරමින් අභියාචනයාධිකරණයේ විනිශ්චය ආසන ප්‍රමාණය 25 දක්වා ඉහළ දැමීමටත් යෝජනා කර තිබෙනවා. ජන වරමේ අවශ්‍යතා ඉෂ්ට කිරීමට අදාළව ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීම සඳහා ජන වරමේ නීතිඥයෝ හැටියට අපි එකතුවී සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනයේදී අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය ආසන ප්‍රමාණය වැඩි කතා බහක් නැතිවම ඉහළ දැම්මා. ජනතාව සඳහා යුක්තිය පසිඳලීම ජනතාවට පෙනෙන ආකාරයෙන් ශක්තිමත් කිරීමට අවුරුදු 46ක් පැරණි 107(V) වැනි ව්‍යවස්ථාව සංශෝධනය කරන්න සූදානම් වෙනවා.
ලෝකයේ වෙනත් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ගෙවී ගිය කාලය තුළ ඉහළ දමා තිබෙනවා. ඕස්ටේ්‍රලියාව 70යි. කැනඩාව 75යි. බ්‍රසීලය 75යි. ඩෙන්මාර්කය 73යි. ඇමෙරිකාව වයස් සීමාවක් හඳුන්වා දී නැහැ. අයිස්ලන්තයේ 70යි. ජපානයේ 70යි. ස්වීඩනයේ 69යි. ස්විස්ටර්ලන්තයේ 68යි. ආදී වශයෙන් ප්‍රවණතාවයක් පවතිනවා. ලෝකයේ සිටි වයස් ගතම විනිශ්චයකාරවරයා වශයෙන් හඳුන්වන ඇමෙරිකානු ජාතික බොලිවර් වෙන්ඩර්හෝම් අත්දැකීම් සහිත විනිශ්චයකාරවරුන් තවදුරටත් සේවයේ පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මත වයස් සීමාව ඉහළ මට්ටමක පැවතිය යුතු බව පවසා තිබෙනවා. බි්‍රතාන්‍යයේ විශ්‍රාම වයස් සීමාව අවුරුද් 75ක් ලෙස පනවන්නේ 1959දීයි. ඊට පෙර සීමාවක් තිබුණේ නැහැ. නමුත් 1993දී එය නැවත 70 දක්වා පහත දමනවා. නැවත අවුරුදු 27කට පස්සේ 2022 වර්ෂයේ මාර්තු මාසයේදී 75 දක්වා වැඩි කරනවා. මේ වැඩි කිරීමට සුවිශේෂීව මැදිහත් වුණු රොබට් බුක්ලන්ඩ් කියන නීති විශාරදයා කරුණු පැහැදිලි කළා. ඔහු කීවේ අපගේ විනිශ්චයකාරවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ සහ මරණ පරීක්ෂකවරුන්ගේ සේවය විශිෂ්ටත්වය ප්‍රවීණත්වය සහ ස්වාධීනත්වය ගැන ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන්නේ ඔවුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව ඉහළ දැමීම මගින් වටිනා අත්දැකීම් ප්‍රයෝජනයට ගන්නා නිසා බවයි.
දකුණු අප්‍රිකාවේ 1910 වන විට වයස් සීමාවක් පනවා තිබුණේ නැහැ. 1989දී අවුරුදු 70ක සීමාව පනවනවා, ඒ වගේම උපරිම ධුර කාලය අවුරුදු 12ක කාල සීමාවකුත් පනවනවා. තවත් පැත්තකින් අවුරුදු 70 වන විට උපරිම ධුර කාලය අවුරුදු 12 සම්පූර්ණ කර නොතිබුණොත් අවුරුදු 75ක් දක්වා සිටීමේ හැකියාවක් ලබා දී තිබෙනවා. ප්‍රංශයේ ප්‍රාන්ස්වා මිතරෝන් ජනාධිපතිවරයා 1982දී රජයේ සේවයේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 සිට 60 දක්වා අඩු කළත්, අධිකරණ විනිසුරුවැන්ගේ වයස් සීමාව වෙනස් කළේ නැහැ. 2010 දී අවුරුදු 67 දක්වා දීර්ඝ කළා. නමුත් ඉන්පසුව ප්‍රධාන විනිශ්චයකාරවරයාගේ වයස අවුරුදු 68 දක්වා ඉහළ දැම්මා. මම මේ උදාහරණ කීවේ, ලෝකයේ අනෙක් රටවල අත්දැකීම් අනුව යමින් ලංකාව මේ නැඹුරුව ගන්න දැනටමත් ප්‍රමාදවී තිබෙන බව පැහැදිලි වෙනවා. මේ ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය ලබාදීමෙන් පසුව මේ විශ්‍රාම වයස් දිගුව ජන වරමේ අවශ්‍යතාවක් බව පැහැදිලිව දකිනවා. මේ වයස් සීමා ඉහළ දැමීම ප්‍රාථමික අධිකරණවල විනිසුරුවරුන්ටත් අදාළ වන පරිදි “අධිකරණ සේවා පනත” සංශෝධනය කරන්න කටයුතු කරනවා. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ වයස් සීමාව අවුරුදු 61 සිට 63 දක්වාත් මහේස්ත්‍රාත්වරු සහ දිසා විනිසුරුවරුන්ගේ වයස් සීමාව 60 සිට 62 දක්වා ගෙන ඒමට අපේක්ෂා කරනවා. උපරිම අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මහාධිකරණ සහ ප්‍රාථමික අධිකරණවල විනිසුරුවරුන්ගේ වයස් සීමාව දීර්ඝ කරන්න අධිකරණ සේවා පනත සංශෝධනය කර සමාන්තරව සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන් හට ඉහළ අධිකරණවලට පත්වීමේදී වයස් සීමාව බාධාවක් නොවී සාධාරණව ක්‍රියාත්මක කිරීම ගැන මහජනතාවගේ විශාල අනුමැතියක් තිබෙන බව මේ වන විටත් පැහැදිලි වී තිබෙනවා.
අකාරයක්ෂමව පවතින යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නිසා, ගොඩ ගැසී තිබෙන නඩු විභාග කඩිනම් කරන්න ජන වරම අනුව ක්‍රියාකරමින් සිටිනවා.
නීතිඥ අනුරාධ කිරලවැල්ල
ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරා ගෙන යන පරිවර්තනීය යුගය ඇති කරන්න යම් යම් ප්‍රතිසංස්කරණ ගෙන ඒම අත්‍යවශ්‍යයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට දුන් පොරොන්දු එකින් එක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. මැතිවරණය ජයග්‍රහණයෙන් පස්සේ රතිඤ්ඤා කරලක්වත් පත්තු කරන්න නොදී ප්‍රතිපත්ති ගරුක දේශපාලන ගමනක් පටන් ගත්තා. කැබිනට් ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත්කිරීමේදී ජනතාවට දුන් පොරොන්දු අනුව වරප්‍රසාද විශාල වශයෙන් සීමා කරගෙන තිබෙනවා. මුලසිටම අල්ලස දූෂණයට සහ නාස්තියට වැට බැන්දා. පෙර සිටි දේශපාලනඥයන් සහ නිලධාරීන් පාවිච්චි කළ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කළා. ඒ අතරට අලුතින්ම එක්වන්නේ අධිකරණ ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිසංස්කරණයි. ඇතැම් අය කළබලයෙන් මෙම සංශෝධනය ගෙන එන බව කීවත් ඇත්තටම කිසිම කලබලයක් නැහැ. අකාරයක්ෂමව පවතින යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නිසා, ගොඩ ගැසී තිබෙන නඩු විභාග කඩිනම් කරන්න ජන වරම අනුව ක්‍රියාකරමින් සිටිනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරු යසන්ත කෝදාගොඩ මැතිතුමා කියා තිබුණා, මේ වන විට තිබෙන නඩුවක් විභාග කරන්න පටන් ගත්තොත් ඒවා අවසන් වන විට 2036 විතර වෙන බව. මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය මොනතරම් අකාර්යක්ෂම ද යන්න එයින් පැහැදිළි වෙනවා. ඒ ප්‍රමාදය මග හරවන්න ගන්නා ක්‍රියාමාර්ගවල එක කොටසක් තමයි විනිසුරුවරුන්ගේ වයස් සීමාව ඉහළ නැංවීම. නමුත් මේ සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කරන්නේ එක විනිශ්චයකාරවරයෙක් ඉලක්ක කර ගෙන, මේ සංශෝධනය ගෙන එන බවයි. කිසිසේත්ම එහෙම නැහැ. එහෙම කිරීමේ කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. අධිකරණ පද්ධතියේ සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමෙනවා. යම්තාක් දුරකට හෝ පුංචිම ප්‍රශ්නයක් විදිහට දකින්න පුළුවන් දේ වන්නේ පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ උසස්වීම්වලට අදාළව යම් කිසි කාලයක ප්‍රමාදයක් ඇති වීම පමණයි. නමුත් ඒ යම් ප්‍රමාණයෙන් පසුව ඉහළ අධිකරණවලට පත්වීමේදී අවුරුදු දෙකක සේවා දිගුව සියලුම දෙනාට අදාළයි. ඒ වගේම දැනට මහාධිකරණයේ විනිසුරුවරු 110ක් සිටිය යුතු වුවත් දැනට ඉන්නේ 93ක් පමණයි. මහාධිකරණයේ විනිසුරු අසුන් සංඛ්‍යාව වැඩි කළ විට සහ පුරප්පාඩු පිරවූවාම පහළ අධිකරණ විනිසුරුවරුන්ට අවස්ථාවල් වැඩි වෙනවා. ඒ වගේම පහළ අධිකරණවලට විනිසුරුවරුන් බඳවා ගැනීමේ අවස්ථාවත් වැඩි වෙනවා. එයින් මහජනතාවට තමන්ගේ නඩුව ඉක්මනින් විමර්ශනය කර, අවසන් කිරීමේ අවස්ථාව උදාවෙනවා.

ජනතාවගේ පරමාධිපත්‍යය කියන්නේ ඉතා කුඩා කණ්ඩායමක් නොවෙයි.
නීතිඥ සංජය නල්ලපෙරුම
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන උගත් පිරිසක් කතිකාවක යෙදී සිටින නිසා ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ සම්බන්ධයෙන් කෙටි අදහසක් මම දක්වන්නම්. මේ සංශෝධනයට විරුද්ධ වීමේ අයිතියක් ඕනෑම කෙනෙකුට තිබෙනවා. හැබැයි විරුද්ධ වීමේ අයිතියත් එක්ක විරුද්ධ වීමේ නිශ්චිත ඇත්ත හේතුවත් කියන්න ඕනෑ. නමුත් මේ දක්වා විරුද්ධ බව කියන කිසිම පාර්ශ්වයක් විරුද්ධ වීමට හේතු දක්වන්නේ නැහැ. මේ විරුද්ධ වෙන අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරදී තිබෙන ජනතා පරමාධිපත්‍යය පිළිගන්නවා. එහෙම නම් 4(III) ව්‍යවස්ථාවේ පරමාධිපත්‍යය පැහැදිලි කර තිබෙනවා. ජනතාවගේ පරමාධිපත්‍යය කියන්නේ ඉතා කුඩා කණ්ඩායමක් නොවෙයි. නීතිඥ සංගමයේ හෝ විපක්ෂයේ හෝ කණ්ඩායමක් පමණක් නොවෙයි, ඊට වඩා බරපතළ ලෙස මේ රටේ දෙකෝටියකට වැඩි මහජනතාව වෙත පරමාධිපත්‍යය බලය තිබෙනවා. ජනතාවගේ අධිකරණ බලය තිබෙන්නේ ජනතාව සතුවයි. එහෙම නම් මේ හැමදේකම අවසාන ප්‍රතිඵලය ලෙස නඩු විභාග කඩිනම් කිරීමේ වාසිය ලැබෙන්නේ ජනතාවටයි. මේ වන විට ඩිජිටල් කරණය හඳුන්වා දීම, අලුත් උසාවි ස්ථාපිත කිරීම, නව විනිසුරුවරුන් පත්කර ගැනීම, වැනි ක්‍රියාමාර්ගවල දිගුවක් හැටියට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමේ යෝජනාව පවතිනවා. මේ සම්බන්ධයෙන් බිල්ලෙක් මැවීමෙන් කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය කෙලෙසීමක්.
ජනතාව අපේක්ෂා කළ දේ ව්‍යවස්ථාදායකයේ වෙනස්වීමකින් සිදුකර තිබෙනවා. අද ආණ්ඩුවේ සියලුම මන්ත්‍රීවරුන් සාමාන්‍ය ජනතාව වගේම ක්‍රියාකරමින් සිටිනවා. ඒක සිස්ටම් චේන්ජ් එකක් නොවෙයිද? ඒ වගේම විධායකයේ ජනාධිපතිවරයා කොයිතරම් වෙනස් වී සිටිනවාද?. එහෙම නම් අධිකරණයේ මේ අදාළ සංශෝධන සිදුකෙරෙන්න ඕනෑ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම නීත්‍යානුකූලවයි සිදු කරන්නේ. ඒක ජනතාව බලාපොරොත්තු වෙන දෙයක්. එහෙම නොකරනවා නම් තමයි, ජනතාවගේ පරමාධිපත්‍යය බලය විනාශ කරන්නේ. මේ සංශෝධනය දෙස ජනතාවගේ පැත්තෙන් බලන්න ඕනෑ. අධිකරණ ක්‍රියාවලිය වේගවත් කර, නඩු විභාග ඉක්මන් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන යම් බලවේගයක් සිටින බව අපට පැහැදිලි වෙනවා. නමුත් දෙකෝටියකට අධික ජනතාව වෙනුවෙන් අපි මේ සංශෝධනය නොකළොත් තමයි ජන වරමට එරෙහි වෙන්නේ. උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ පරිචය යුක්තිය පසිඳලීමේදී නිවැරදි තීන්දු ලබාදීම සඳහා ඉතාම වැදගත් වෙනවා.

නීතිඥවරුන් ජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියාකරන්නේ නැත්නම්,
ඇතිවන තත්වය මොකක්ද?
නීතිඥ මනෝධ්‍යා ගල්පාය
මේ යුගයේ ජනතා වරමක් ලබා දී තිබෙන්නේ ජනතාවගේ සම්පූර්ණ විශ්වාසය තියලයි. ජනතාව වෙනුවෙන් පෙනී සිටින අධිකරණයේ ස්වාධීනත්වය රකින, අධිකරණයේ යුක්තිය ඉටුකරන සහ යුක්තිය ඉටුකරන බව කියැවෙන ආකාරයෙන් පෙනීමට සලස්වන රජයක් බලයේ ඉන්නේ. ජනාධිපතිතුමාගේ සිට සියලුම මැති ඇමතිවරුන් අධිකරණයේ ස්වාධීනත්වය රකිමින් කටයුතු කරන අතර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දමා තවදුරටත් ජනතාවට වාසි ලබාදීමට ක්‍රියාකරමින් සිටිනවා. අධිකරණවල ලක්ෂ සංඛ්‍යාත නඩු සංඛ්‍යාවක් ගොඩගැසී තිබෙන යුගයක උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ දැනුම සහ අත්දැකීම් උපයෝගී කරගෙන යුක්තිය පසිඳලීම වේගවත් කරන්නයි උත්සාහ කරන්නේ. ඒ ක්‍රියාමාර්ග හමුවේ සැකපිට ඉන්න අයත් ඇප පිට ඉන්න අයත් බොහොම කලබල වී සිටිනවා. ව්‍යවස්ථා සංශොධනයක් ගෙන එන්න පැහැදිලි ජන වරමක් සහ බලයක් ලබාදී තිබෙනවා. ජනතාවට සේවය කරන රජයක් ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන්න ඕනෑ. ගෙවී ගිය කාලය තුළ මේ රජයෙන් අබමල් රේණුවක තරම්වත් වරදක් අධිකරණ ක්ෂේත්‍රයට සිදුවී නැහැ. සැක පිට සහ ඇප පිට ඉන්න අය මේ තත්වයට බිය වීම නිසා එක ගොඩකට එකතු වී බොරුවට කෑ ගහමින් ඉන්නවා. ජනතාව ඒ බව තේරුම් අරගෙන ඉන්නවා. විශේෂයෙන්ම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීමේදී ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගැනීම දක්වා නව පරිවර්තනයන්ට මුල පුරා තිබෙනවා. මේ පරිවර්තනය ජාත්‍යන්තර ඉහළ ප්‍රමිතියක් දක්වා ගෙනයන්න ඕනෑ. නීතිඥයෝ කියන්නේ දක්ෂ වෘතිකයන් පිරිසක්. උතුරේ සිට දකුණට බිහිවී සිටින නීතිඥවරුන් ජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියාකරන්නේ නැත්නම්, ඇතිවන තත්වය මොකක්ද?
පුංචි පිරිසක් මිනිසුන්ව නොමග යවන්න සිතුවත් බුද්ධිමත් ජනතාවක් නොමග යවන්න බැහැ. කොයිම අවස්ථාවකවත් මේ රජය ජනතාවට අවාසිදායක තීරණයක් නොගන්නා බව ගෙවී ගිය කාලය තුළ තහවුරු කර තිබෙනවා. ඉන්දියාවේ යාචකයන්ගෙන් පරිත්‍යාග ලබා ගන්නා තැනට බිඳවට්ටවා තිබූ අපේ රටේ ආර්ථිකය ලෝකය පිළිගන්නා දර්ශක අනුව ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය රකිමින් නීතිය සැමට ඉහළින් තිබෙන බව පිළිගනිමින් ගරු කරන ජනාධිපතිවරයෙක් ඇමති මණ්ඩලයක් සහ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත ආණ්ඩුවෙන් ගන්නා මේ තීරණය නිසා දක්ෂ විනිසුරුවරුන් ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍යය සුරකින්න ලොකු මෙහෙවරක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
නීතිඥ හේමක සේනානායක
ප්‍රශ්නය: තුනෙන් දෙකක ජනවරමක් ආණ්ඩුවට ලබාදී තිබෙන්නේ අවශ්‍ය නීති සංශෝධනය කරන්න. එහෙම නම් පිරිසක් කළබල වෙලා ඉන්නේ ඇයි? ඒ පිරිස කළබල වීම අනුව ඔබතුමන්ලත් කළබලවී ඉන්නේ ඇයි?
පිළිතුර:
කිසිම කළබල වීමක් අපට නැහැ. පසුගිය ආණ්ඩු වගේ මේක ඒකාධිපති ආණ්ඩුවක් නොවෙයි. නමුත් ඔබතුමන්ලාට අපිට පසුගිය ආණ්ඩු ගැන අත්දැකීම් තිබෙනවා. කැස්බෑව ප්‍රදේශයේ දේශපාලනඥයෙක් සම්බන්ධ නඩුවක තීන්දුව ලබාදීමට දින තුනකට පෙර නඩුව ඉල්ලා අස්කර ගත් අතීතයක් තිබුණා. ඒ වගේම ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවලට අටවන විධායක ජනාධිපතිවරයා “අධිකරණ ම්ලේච්ඡත්වය” වශයෙන් හැඳින්වූ හැටි අපට මතකයි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා ලබාදුන් තීන්දු සම්බන්ධයෙන් එම විනිසුරුවරුන්ට දඬුවම් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමට කතා කළ ආකාරය අපට මතකයි. විවියන් ගුණවර්ධන සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුව නිසා විනිසුරුවරුන්ගේ නිල නිවාසයවලට ගල් ගැසූ හැටි අපට මතකයි. ඒ පසුබිම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නයි, ජාතික ජන බලවේගය ආණ්ඩුව ක්‍රියා කරන්නේ. ඡන්දය අවසන් වූ පසු පුංචි හරි පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියාවක් නැති වෙන තත්වයට දේශපාලන සංස්කෘතිය පරිවර්තනය කර තිබෙනවා. එහි තවත් පියවරක් තමයි මේ තියන්න සූදානම් වෙන්නේ. ප්‍රශ්නය අහපු මාධ්‍යවේදියාටත් හිතෙන්න පුළුවනි, විධායක ජනාධිපති ධුරය සහ 159 පාර්ලිමේන්තු බහුතර බලය ලබාගෙන එක රැයෙන් මේ පනත සම්මත කර ගන්න පුළුවන් කියලා. නමුත් මේ රජය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව විවේචනවලට අවස්ථාව ලබාදී තිබෙනවා. නමුත් කඩා කප්පල්කාරී ක්‍රියා විතරයි කරන්න බැරි. අපේ නීතිඥතුමෙක් පෙන්වා දුන් පරිදි මේ සංශෝධනයට විරුද්ධ වෙන්න හේතු වූ කරුණු ඉදිරිපත් කරනවා නම්, අපි ඒවාට ඇහුම්කන් දෙන්න සූදානම්. අත්තනෝමතික ඒකාධිපති ගමනක් යන්න මේ රජය සූදානම් නැහැ.

ප්‍රශ්නය: මාධ්‍ය හමුවකදී ශිරාල් ලක්තිලක මහත්මයා ප්‍රකාශ කර තිබුණා, විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට විරුද්ධ නොවෙන බවත් නමුත් මේ සංශෝධන ගෙන එන ක්‍රමයේ ගැටලුවක් තිබෙන බව. එහෙම ගැටලුවක් තිබෙනවාද?
පිළිතුර: අපි මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ කාටවත් උත්තර දෙන්න නොවෙයි. ජනතාවට කරුණු පැහැදිලි කරන්නයි. යම් කෙනෙක් ක්‍රමයේ වරදක් තිබෙන බව කියනවා නම් හරි ක්‍රමය මොකක්ද කියලා කියන්නත් ඕනෑ. ජනතා පරමාධිපත්‍යය කියන්නේ මොකක්ද කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වැනි ව්‍යවස්ථාවල පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ වගේම 105 සහ 106 ව්‍යවස්ථාවල අධිකරණය කුමක්ද කියලා 107 සිට 117 වන ව්‍යවස්ථාව දක්වා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳවත් කරුණු දක්වා තිබෙනවා. මේ වගන්ති අතරේ 107(V) ව්‍යවස්ථාව තමයි සංශෝධනය කරන්න යන්නේ. උපරිමාධිකරණවල සහ ප්‍රාථමික අධිකරණවල සියලුම ගරු විනිසුරුතුමන්ලා විශිෂ්ට සේවයක් කරනවා. මේ තිබෙන්නාවූ විශිෂ්ට සේවය ජනතාව ගැන හිතලා තව අවුරුදු දෙකකින් වැඩකර දෙන ලෙසයි, ඉල්ලා සිටින්නේ. මේ රටේ දේශපාලනඥයන් විසින් දීර්ඝ කාලයක් කරන ලද වංචා, දූෂණ සහ හොරකම් හේතුවෙන් ජනතාවගේ ජීවිත වෙනුවෙන් ලබාගත යුතු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා ලබා ගත නොහැකි තත්වයට පත්වුණු බව ඔවුන් තේරුම් ගත්තා. මේ නිසා සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලලා ජනවරමක් ලබා දුන්නා. ඒ ජනවරම ක්‍රියාත්මක කර ගැනීම සඳහා අධිකරණය ඍජුව කටයුතු කළ යුතුයි. කැස්බෑව ප්‍රදේශයේ දේශපාලනඥයාගේ නඩුව වගේ වෙන්න බැහැ. අධිකරණයට ගල් ගැසීම් වගේ දේවල් වෙන්න බැහැ. “අධිකරණ ම්ලේච්ඡත්වය” වගේ ප්‍රකාශ සිදුකරන්නත් බැහැ. අන්න ඒ පදනමේ සිට ගරු විනිසුරුතුමන්ලාගේ සේවය තව අවුරුදු දෙකකින් දීර්ඝ කර දෙන්න කියලයි මේ සංශෝධනය ගෙන එන්නේ. ඒ ක්‍රමය වැරදියි නම්, කරුණාකරලා හරි ක්‍රමවේදය අපට කියා දෙන්න.
මම උදාහරණයක් කියන්නම්, වයඹ පළාතට තිබෙන්නේ කුරුණෑගල පළාත් බද මහාධිකරණය පමණයි. උතුරු මැදට තිබෙන්නේ අනුරාධපුර මහාධිකරණය පමණයි. ඌවට තිබෙන්නේ බදුල්ල පමණයි. මධ්‍යම පළාතට තිබෙන්නේ නුවර පමණයි. මහාධිකරණ විනිසුරුවරුන් 93ක් පමණයි ඉන්නේ. සමහර විනිසුරුවරුන් අධිකරණ ස්ථාන දෙකක වැඩ කරනවා. එක විනිසුරුවරයෙක් අම්පාර සහ බදුල්ල මහාධිකරණ දෙකේම වැඩ කළා. මහාධිකරණවල සිටිය යුතු විනිසුරුවරු සංඛ්‍යාව 110ක් වුවත් දැනට ඉන්නේ 93ක් පමණයි. ඒ සංඛ්‍යාව 120 දක්වා වැඩිකර උසස්වීම් ලබා දෙන්න යෝජනා වී තිබෙනවා. ගරු අභියායචනාධිකරණ විනිසුරුවරු 20 සිට 25 දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම ඒ පුළුල් සංශෝධනවල එක් සාධකයක් පමණයි. 2024 ජනතා වරම ක්‍රියාත්මක කිරීමේ නිවැරදි ක්‍රමය මේ ආකාරයෙන් පවතින බවයි අපේ මතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගනී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ...

ගොවි සංවිධානවල ඉල්ලීමට අනුව සාධාරණ සහතික වී මිලක් ලබා දී තිබෙනවා- ඇමති ලාල්කාන්ත

ගොවිජන ජීවිත නගාසිටුවීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජය කැපවී සිටිනවා– අනුරාධපුරයේ පැවැති විශේෂ ගොවි හමුවේදී කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img