සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරී හිඟයක් ? – විමර්ශනවලට බාධා
පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරී හිඟයක් හේතුවෙන් එහි සිදුකරන විමර්ශනවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් මේ වන විට එම කොට්ඨාසයේ නොමැති බැවින් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව වාර්තා වේ.
නිලධාරීන් සියයට ආසන්න සංඛ්‍යාවක් මීට පෙර පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ සේවය කර ඇති අතර මේ වන විට එහි සේවය කරන්නේ නිලධාරීන් 70කට ආසන්න සංඛ්‍යාවක් වේ.
එම නිසා දෛනිකව වාර්තා වන පැමිණිලි හා ඊට අදාළ විමර්ශන කටයුතු සිදුකරගෙන යාමේ අපහසුතාවක් මේ වන විට මතුව තිබේ.
මේ සම්බන්ධයෙන් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පොලිස් මූලස්ථානය වෙත ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්ය.
මීට වසරකට පමණ පෙර සැලකිය යුතු නිලධාරීන් සංඛ්‍යාවක් මෙම කොට්ඨාසයේ සේවය කර ඇති අතර සේවයේ අවශ්‍යතාව මත සිදුකර ඇති විවිධ ස්ථාන මාරුකිරීම් සහ වෙනත් රාජකාරී සඳහා යෙදවීම් මෙම තත්ත්වයට හේතු වී තිබේ.
රාජකාරීන් සඳහා යොමුකර ඇති නිලධාරීන් වෙනුවට නව නිලධාරීන් ආදේශ කිරීම් මෙතෙක් සැලකිය යුතු මට්ටමකින් සිදුකර නොමැති බවද වාර්තා වේ.






















