සෞඛ්‍ය උපදෙස් නොතකා මගීන් රැගෙනයන බස් ගැන තීරණය
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මගීන් ප්‍රවාහනය නොකරන පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ යම් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව මේ වනවිටත් විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවය.
“දැන් ජනතාව පාරේ යනවා වැඩියි. ඒ නිසා බස් රථ සෞඛ්‍ය උපදෙස් කඩකරමින් මගීන් රැගෙන යනවා. දැන් මේක ගැටලුවක් වෙලා. ඒ නිසා ලබන සතියේ සාකච්ඡා කරලා මේ ගැන තීන්දුවක් ගන්නවා,”යනුවෙන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
කොවිඩ් -19 වසංගත තත්ත්වයත් සමග පොදු ප්‍රවාහන සේවා සඳහා ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙනයායුතු බවට සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව පෞද්ගලික බස් රථ ගාස්තුව ද ඉහළ දැමීමට රජය පියවරගත් අතර මේ වනවිට වැඩිකළ බස් ගාස්තුව අයකළ ද මගීන් ආසන සංඛ්‍යාව ඉක්මවා රැගෙන යෑමට බස්රථ සේවකයින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, “යම් අවස්ථාවල මගීන් හිටගෙන යනවා කියලා අපිට දැනුම්දීලා තියෙනවා. ඒක වැරදියි. මේ ගැටලුව හෙට සිට තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. බස් ධාවන කාලසටහන් නැවත සලකා බැලිය යුතුව තියෙනවා. අපේ ස්ථාවරයත් ආසන ගාණට තමයි මගීන් රැගෙන යායුතු කියලයි,” යනුවෙනි.
ඔහු සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ඉහළ දැමූ බස් ගාස්තුව යළි අඩු කිරීමට එකඟ නොවන බවයි.






















