හම්බන්තොට වරාය විකුණනකොට මේ අය හැංගිලා හිටියේ – අමාත්‍ය ගාමිණී ලොකුගේ
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබාදීමට සිදුවී ඇත්තේ වෙනත් දේශපාලන තත්ත්වයක් මත බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
එසේ නොමැතිව එහි පාඩු ලබන තත්ත්වයක් හෝ මෙහෙයුම් සිදුකරගෙන යෑමට නොහැකි තත්ත්වයක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
කෙසේවෙතත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (13) පැහැදිළි කළේය.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ “අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බවය.
මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පාලනයෙන් සියයට 49 ක් විදෙස් ආයෝජකයින් සඳහා ලබාදීමේ රජයේ තීරණය සම්බන්ධයෙන් අද (14) පාර්ශ්ව කිහිපයක්ම අදහස් පළකර තිබුණි.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ, “මේ රටේ තියෙන අවසාන රාජ්‍ය දේපළ පද්ධතියත් පිටරැටියන්ට විකුණා දැමීමේ මෙහෙයුමක් ආණ්ඩුව පටන් අරන් තියෙන්නෙ,” යනුවෙනි.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ, “හම්බන්තොට වරාය විකුණනකොට මේ අය කොහෙද හිටියෙ දන්නෑ. හැංගිලා හිටියා. කොළඹ වරාය විකුණන්නේ නෑ,” යනුවෙනි.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා,“පාඩු ලබනවා කියන කතාවක්වත් කරගෙන යන්න බෑ කියන කතාවක්වත් මෙතන නෑ. ඉතා පැහැදිළියි. වෙන දේශපාලන තත්ත්වයක් උඩ තමයි දෙන්න වෙලා තියෙන්නෙ.”යනුවෙන් පෙන්වා දුනි.






















