➢ ‘ජාතික භෞතික සැලැස්ම’ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු අනුමැතියට…
➢ ඉදිරියේදී එය කැබිනට් මණ්ඩලයට….
➢ රජයන් වෙනස්වන විට ජාතික සැලසුම් වෙනස්වීම රටේ සංවර්ධනයට බාධාවක්…
2023.10.22
- ඇමති ප්රසන්න රණතුංග
ජාතික භෞතික සැලැස්ම කඩිනමින් සෑම දිස්ත්රික් කමිටුවකටම ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ පාර්ලිමේන්තුව පරිශ්රයේදී ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමග පසුගියදා (20) දින පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
රටේ සංවර්ධන වැඩ සටහන්වලදී ඒ සඳහා ක්රියාත්මක ආයතන ඒකාබද්ධ කරගැනීම ප්රමාදවීම හේතුවෙන් සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම බොහෝවිට ප්රමාද වේ. කලින් කලට රජයන් වෙනස්වන විට ජාතික සැලසුම් වෙනස්වීම රටේ සංවර්ධනයට බාධාවක් බව ප්රසන්න රණතුංග ඇමතිවරයා මෙහිදී සදහන් කළේය.
නමුත් ජාතික භෞතික සැලැස්මේ නිර්දේශිත ප්රතිපත්ති හා සැලසුම් අනුව ක්රියාත්මක වීමෙන් සංවර්ධන සැලසුම් වඩාත් ඵලදායි වන අතර ජනතා අවශ්යතාවයන්ට විසඳුම් ලැබෙන බවද අමාත්ය ප්රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් “ජාතික භෞතික සැලැස්ම – 2048” සකස් කර තිබේ. ඒ 2000 අංක 49 දරණ පනතින් සංශෝධිත, 1946 අංක 13 දරණ නගර හා ග්රාම නිර්මාණ ආඥා පනත ප්රකාරවයි.
ජාතික භෞතික සැලැස්ම පසුගියදා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත ඉදිරිපත් කෙරිණ. ඒ සදහා ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවිය. එහිදී ජනාධිපතිවරයා ද උපදෙස් දුන්නේ මෙම ජාතික භෞතික සැලැස්මට සියලුම දිස්ත්රික් කමිටු අනුමැතිය ලබා ගන්නා ලෙසයි.
ඊට අමතරව එම සැලැස්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අමාත්ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නියමිතයි. අනතුරුව එය ගැසට් මගින් ප්රකාශයට පත් කෙරේ. පසුව ජාතික භෞතික සැලැස්ම පාර්ලිමේන්තුවට හා පාර්ලිමේන්තුවේ අමාත්යංශ උපදේශන කාරක සභාවට ද ඉදිරිපත් කිරීමටද නියමිත බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.
ප්රථමයෙන්ම මෙරට ජාතික භෞතික සැලැස්මක් සකස් කර ඇත්තේ 2007 වසරේදීය. පසුව 2019 වසරේදී එය යාවත්කාලීන කර තිබේ. විවිධ කේෂ්ත්ර නියෝජනය කරනු ලබන විද්වතුන්ගේ අදහස් හා යෝජනා ලබාගනිමින් “ජාතික භෞතික සැලැස්ම – 2048” සකස් කර ඇත. මෙහි තේමාව වන්නේ “සැලසුම්ගත තිරසාර සෞභාග්යමත් දේශයක්” යන්නයි. මෙම ජාතික භෞතික සැලැස්ම අන්තර් අමාත්යංශ ලේකම්වරුන්ගේ කමිටුවට ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් හා යෝජනා ද ලබා ගෙන තිබේ.
රටේ සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන නාගරික සංවර්ධන, මහාමාර්ග, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, ප්රවාහන ආදී සියලුම සංවර්ධන ක්රියාදාමයන් ජාතික භෞතික සැලැස්මේ ප්රතිපත්ති හා මාර්ගෝපදේශ අනුව සිදුකිරීම තුලින් වර්තමානයේ රට මුහුණ දී සිටින ආර්ථික හා සමාජීය අර්බුද බොහෝ දුරට මගහරවා ගතහැකි බව අමාත්ය ප්රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
රටේ සෑම ප්රදේශයක්ම ආවරණය වන ලෙස සංවර්ධනය සිදුකිරීමට සහ සංරක්ෂණය කළ යුතු ප්රදේශ හඳුනාගෙන සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා මෙම ජාතික භෞතික සැලැස්ම ඉතා වැදගත් වන බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්යංශයේ ලේකම් ඩබ්ලියු.එස්. සත්යානන්ද, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.






















