Saturday, August 22, 2026
HomeNEWS2021.02.20 දින එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්...

2021.02.20 දින එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කරන්දෙණිය සහ බෙන්තර ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම් පවත්වනු ලැබිණි

2021.02.20 දින එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කරන්දෙණිය සහ බෙන්තර ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම් පවත්වනු ලැබිණි

රට මුහුණ පා ඇති අභියෝග ජය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රිවරයෙකු ලෙස නොපමාව පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවටත් අභිනව සභාපති වජිර අබේවර්ධන මහතා සහයෝගය දැක්විය යුතු බවටත් වන යෝජනා දෙකක් කරන්දෙණිය සහ බෙන්තර ඇල්පිටිය එ.ජා.ප. බල මණ්ඩල රැස්වීම්වලදී ඒකමතිකව සම්මත කර ගන්නා ලදී.

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා විපක්ෂ නායක අයි.කේ. පුෂ්පලාල් වික්‍රමසිංහ මහතා විසින් කරන්දෙණිය බල මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ මෙම යෝජනාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනන්ත කුමාර මහතා ස්ථීර කළ අතර එම යෝජනාව බෙන්තර ඇල්පිටිය බල මණ්ඩලයට ඉදිරිපත් කර ස්ථීර කරනු ලැබුවේ සෙනරත් අලහකෝන් මහතා විසිනි.

කරන්දෙණිය බල මණ්ඩල රැස්වීම කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතිඥ නුවන් සොමිරත්න මහතාගේ නිවසේ පැවතී අතර, බෙන්තර ඇල්පිටිය බල මණ්ඩල රැස්වීම එම ආසනයේ ප්‍රධාන සංවිධායක නීතිඥ නෙවිල් ඉහළවිතාන මහතාගේ නිවසේදී ඊයේ ( 20 වැනිදා ) පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බල මණ්ඩල රැස්වීම පැවති අතර එම රැස්වීම්වලට සහභාගී වීමට පෙර අබේවර්ධන මහතා එදින උදෑසන කරන්දෙණිය ගලගොඩ ශෛලතලාරාම විහාරස්ථානයට ගොස්  ආගමික වතාවත් සිදුකර විහාරාධිපති පූජ්‍ය කුඩුමීරිය සෝමිස්සර නා හිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

වර්තමානය වන විට රට සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුද රැසකට මුහුණ පා සිටින බවත්, එම අභියෝගවලින් රට මුදා ගැනීමට හැකියාවක් ඇති එකම නායකයා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බැවින් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගෙන නොපමාව පාර්ලිමේන්තුව නියෝජනය කරන ලෙස එතුමාගෙන් ඉල්ලා සිටින බව සම්මත කර ගන්නා යෝජනාවේ වැඩි දුරටත් සඳහන් වේ. 

කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතා එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කළ කථාව.

එක්සත් ජාතික පක්ෂ නායක රටේ නායකත්වයට පත්ව රට පාලනය කළොත් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත්ම රට බවට පත්වන නිසා ඔහුට දේශීයවත්, ජාත්‍යන්තරවත් පහර දෙන බැවින් ඒ සතුරු බලවේගවලට එරෙහිව රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් පෙනී සිටී බව එජාප නව සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කරන්දෙණිය බල මණ්ඩල රුස්වීම අමතමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්පූර්ණයෙන්ම මෙහෙයවන්නේ ජාත්‍යන්තරය බවත් එහි ප්‍රතිඵලයක් ලෙස කිසිඳු ආණ්ඩුවකට වසර 12ක් 15 ක් අඛණ්ඩව රට පාලනය කිරීමට නොහැකී වී තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතිඥ නුවන් සොමිරත්න මහතා විසින් ඔහුගේ නිවසේ 20දා සංවිධානය කර තිබූ එජාප බල මණ්ඩල රැස්වීම අමතා තව දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

පසුගිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ඡන්ද ලක්ෂ දෙකහමාරක් පමණ ලබාගෙන තිබෙනවා. මේ තත්වය හමුවේ ඇතැම් අය සිතනවා එක්සත් ජාතික පක්ෂය කඩා වැටිලා කියා. නමුත් අපේ පක්ෂය එහෙම කඩා වැටී නැහැ. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ එවැනි ඡනද ප්‍රමාණයක් ලබාගෙන මේ රටේ ආණ්ඩු පිහිටුවීමටත්, ආණ්ඩු පෙරළා දැමීමටත් කටයුතු කරනවා. ඡන්ද ලක්ෂ දෙක හමාර විශාල ශක්තියක් බව කිව යුතුයි.

පසුගිය මැතිවරණයෙන් පසු එවැනි අඩුපාඩු නිවැරදි කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමේ නව ගමනක් අපි මේ වන විට ආරම්භ කර තිබෙනවා. එහිදී ඔබේ දිස්ත්‍රික්කය වන ගාල්ල දිස්ත්‍රික්කයේද සුවිශේෂි වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. පෙබරවාරි  28 වැනිදා වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ බල මණ්ඩල 10 ම කැඳවා අවසන් කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

පසුගිය මහා මැතිවරණයට පෙර ප්‍රසිද්ධ සමීක්ෂණ ආයතනයක් මඟින්ගාල්ල දිස්ත්‍රික්කයේ සමීක්ෂණයක් කළා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට පරාජයක් අත්වන බව එම ආයතනය ප්‍රකාශ කළා. අලියා ලකුණින් ඒ ඡන්දයට ඉදිරිපත් නොවන ලෙසත් ඔවුන් මගෙන් ඉල්ලා සිටියා. නමුත් මම මගේ පක්ෂය පාවා දී වෙනත් කණ්ඩායම් සමඟ එකතු වුනේ නැහැ.ඒ වගේම තමා අද මෙතැන සිටින ඔබත්, ඔබ කිසි විටෙකත් එක්සත් ජාතික පක්ෂය හැර ගියේ නැහැ. ලාභ ප්‍රයෝජන වෙනුවෙන් වෙනත් බලවේගවලට සහය දුන්නේ නැහැ. එය අපට ලොකු ශක්තියක් බව කිව යුතුයි.

වෙනත් පක්ෂ හා බලවේග සමඟ ගියා නම් මන්ත්‍රී ධුරයක් මට ලබාගන්න තිබුණා. නමුත් ඒ හැම දේටම වඩා මට වටින්නේ එක්සත් ජාතික පක්ෂයයි. ගාලු දිස්ත්‍රික්කයේ ආදරණීය පාක්ෂික ඔබයි.

මැතිවරණ සමයේ සහ ඊට පෙර සිට අපේ පක්ෂයේ ඇතැම් අය ප්‍රකාශ කළේ වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂය හැර යන බවයි. ඔවුන් ඒ කළ නරක වැරද්දේ ප්‍රතිඵල අපි හැමෝටම අද බුක්ති විදීමට සිදු වී තිබෙනවා.

මේ ආකාරයට කොපමණ අභියෝග එල්ල වුනත් මුළු ලංකාවෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා දීමට අපට හැකිවුණා. එක්සත් ජාතික පක්ෂය යම් පසු බැසීමක් වුණා නම් ඒ අවස්ථාවේ පක්ෂය ඔසවා තැබුවේ ඔබයි.

ගාල්ල නියෝජනය කළ සී. ඩබිලිව්. ඩබිලිව්. කන්නන්ගර මැතිතුමා රටට නිදහස් අධ්‍යාපනය ලබා දුන්නත් ජනතාව ඔහුට ගෙදර යන ලෙස ඡන්දයෙන් පිළිතුරු දුන් නිසා ඔහුට එදා ගාල්ල අතහැර කළුතරට යෑමට සිදු වුණා. එවැනි වැරදි නිසා නිදහසින් පසු වසර 73 ක් ගතවන තෙක් ජාතියක් ලෙස නැඟිටීමට අපට නොහැකි වී තිබෙනවා. ඒ නිසා ඔබත් මමත් අපි හැමෝම කල්පනාවෙන් වැඩ කළ යුතුයි.

1946 දී ශ්‍රී ලංකාව එංගලන්තයට ණය ලබාදුන් බව අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සති අන්ත පුවත්පතකට දීර්ඝ ලිපියක් ලියමින් සඳහන් කර තිබෙනවා. එලෙස එදා එංගලන්තයට ණය දුන් අපේ රට අද ණය ඉල්ලමින් ලෝකය වටේ හිඟමනේ යනවා. මේ අනුව වසර 73 ක් මහජනතාව ගත් වැරදි තීන්දු තීරණ නිසා ඒවායේ ප්‍රතිඵල ජනතාවටම භුක්ති විදීමට සිදුව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ඉතිහාසයේ හැම විටම මේ රට දියුණු කිරීම සඳහා ක්‍රියා කළා. නමුත් කාලයෙන් කාලයට විවිධ හේතු නිසා මහජනතාව ගන්නා වැරදි තීන්දු නිසා ඒ ගමන සාර්ථකව නිම කිරීමට නොහැකි වී තිබෙනවා.

දකුණු ආසියාවේ කිසිදු රටක කිසිදු දේශපාලන පක්ෂයකට නොමැති දක්ෂ නායකයෙක් එක්සත් ජාතික පත්ෂයට සිටිනවා. එතුමාගේ වටිනාකම නොදත් අය එතුමාට නොයෙක් දේවල් ප්‍රකාශ කරනවා. නමුත් ඒ කිසිදු පුද්ගලයෙකුට හෝ බලවේගයකට සත්‍ය පරාජය කළ නොහැකියි.

පසුගිය දා මා රූපවාහිණි නාලිකාවක වැඩසටහනකට සහභාගි වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා ගැන ඒ නිවේදක මහතා ප්‍රශ්න කළා. පක්ෂය දාලා නොයන රනිල් වික්‍රමසිංම වගේ නායකයෙක් සිටිනවා ඔබ දැක තිබෙනවාදැයි ඔහු මගෙන් විමසා සිටියා. ලෝකයේ කෙසේ වෙතත් ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සිටින බව මා ඔහුට සිහිපත් කළා. එතුමියගේ ප්‍රජා අයිතිය නැති කළාම ඇය මුහුණු අවරණයක් පැළඳගෙන වේදිකාවේ අසුන් ගෙන සිටියා. නමුත් ඇයට කථා කිරීම තහනම්. එහෙත් එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාවයි. ඇයව එළවා දැමීමට පක්ෂයේ කවුරුත් බලහත්කාරකම් කළේ නැහැ. 

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට ප්‍රසිද්ධියේ ක්‍රියා කළේ පිට අය නෙවෙයි. එතුමියගේ දුවයි පුතයි. කෙසේ හෝ ඇය වසර පනහක් ( 50 ) පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කළා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා වසර පනහක් පක්ෂ නායකත්වයේ සිටියේ නැහැ. අපි මේ පක්ෂයේ සිටින තාක් එතුමා එළවීමට කිසිඳු බලවේගයකට හැකි වන්නේ නැහැ.

දේශීය අයටත්, ජාත්‍යන්තරයටත් උවමනා වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් එළවා දැමීමටයි. එතුමගේ දේශපාලනය අවසන් කිරීමටයි. මොකද ලෝකය ගැන දැක්මක් ඇති හසල පලපුරුද්දක් ඇති නායකයෙක් රට පාලනය කිරීම ජාත්‍යන්තරයට විශාල අභියෝගයක් වෙනවා. ඒ නිසාම පසුගිය ආණ්ඩුව කෙසේ හෝ පෙරළා දැමිය යුතු බවට ජාත්‍යන්තරය තීරණය කළා. ඒ අනුව ඊට අවශ්‍ය සටන් පාඨ නිර්මාණය කළා. විවිධ සංවිධාන හරහා ඊට අවශ්‍ය කරන වැඩ පිළිවෙල හා සැලැස්ම ඔවුන් සූක්ෂමව ක්‍රියාත්මක කළා.

මේ උපක්‍රම අද ඊයේ සිට ක්‍රියාත්මක වන්නක් නොවෙයි. එදා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි ඝාතනය වුණා. ඊට සම්බන්ධ කිසිවෙක් ඇල්ලුවේ නැහැ. ගමේ ගොඩේ සිදු කරන මිනි මැරුම් අල්ලනවා. නමුත් ජාත්‍යන්තර මට්ටමේ සිදු කරන එකම මිනිමැරුමකවත් සම්බන්ධ අය ඇල්ලිය නොහැකියි.

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සංචාරකයින්ට සිය සංචාරක කටයුතු සඳහා යෝග්‍යම රට බවට ජාත්‍යන්තරය නිවේදනය කළා. ඒ ප්‍රකාශය සිදු කරනවාත් සමඟම පාස්කු බොම්බ ප්‍රහාරය එල්ල කළා.

ලොව රටවල් අතර ප්‍රධානතම තැනක් ගන්නා පොහොර නිධිය පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බව කිව යුතුයි.  එය එප්පාවල සිට ත්‍රිකුණාමළය දක්වා කිලෝ මීටර් ගණනාවක් ඈතට විහිදෙනවා. නමුත් මෙය ගොඩ ගන්න දෙන්නේ නැහැ. සී.වී. ගුණරත්න ඇමතිතුමා මෙය ගොඩ ගන්න උත්සහ කළා. ඒ ඇමෙරිකානු සමාගමක් සමඟයි. මේ සම්බන්ධව දිනක්  පාර්ලිමෙන්තුවේදි මට කතාවක් කිරීමට  අවස්ථාව උදා වුණා. එහිදී මා කියා සිටියේ පරන්ගි ජාතීන් ලංකාවට පැමිණීමද ? එසේත් නැතිනම් එප්පාවල පෙහොර නිධිය ගොඩ ගැනීමද හොඳ කියා. යම් අයෙක් මගෙන් ප්‍රශ්න කළොත් මා කියන්නේ පරංගීන් ලංකාවට පැමිණීම හොඳයි. පොහොර නිධිය ගොඩ ගැනීම ඊටත් වඩා භයානක දෙයක් බවයි. මේ ගැන හරියට නොදැන එය කරන්න ගියොත් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වනු ඇති බව එදා මා ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය සිදු කර දින කිහිපයක් යන විට සී.වී. ගුණරත්න මහතා මහ මඟ ඝාතනය වුණා.

ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේදී ප්‍රෙව්ශමෙන් අවබෝධයෙන් අපි කටයුතු කළ යුතුයි. එම රටවල සහයෝගය ලබා ගෙන ශ්‍රී ලංකාව දියුණු කරන්නේ කෙසේද කියා පියවරෙන් පියවර සිතිය යුතුයි. එහෙමනොමැතිව ඉන්දියාව, මාලදිවයින හෝ වෙනත් රටවලට දොස් කියලාඑම රටවල් තරහා කරගෙන ලංකාව දියුණු කරන්න බැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස නිසි අවබෝධයකින් යුක්තව ජාත්‍යන්තරය සමඟ සබඳතා ගොඩනගා ගනිමින් බොහෝ රටවල සහයෝගය අපේ රට වෙනුවෙන් ලබාගත් බව කිව යුතුයි. ඒ නිසා නැව් නොපැමිණි හම්බන්තොට වරායට නැව් පැමිණීම ආරම්භ වුණා. ගුවන් යානා නොපැමිණි මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා පැමිණීම ආරම්භ වුණා.

එඑක්සත් ජාතික පක්ෂය රටේ ජාතික සම්පත් විකුණුව බවට ඇතැම් අය චෝදනා කරනවා. එක්සත් ජාතික පක්ෂය කිසිදු ජාතික සම්පතක් විකුණලා නැහැ. අපේ පක්ෂය එලෙස ජාතික සම්පත් විකුණන පක්ෂයක් නොවෙයි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු හැම විටම විධිමත් ජාත්‍යන්තර සබඳතා තුළින් ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගෙන මහවැලි ව්‍යාපාරය වැනි යෝධ සංවර්ධන ව්‍යාපෘති රටට ලබා දුන්නා. ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේදී මැද පිළිවෙතක සිට අපි කටයුතු නොකළොත් දරුණු ප්‍රතිවිපාකවලට රටක් වශයෙන් අපට මුහුණපෑමට සිදු වෙනවා.

ඒ නිසා දේශපාලන නායකයෝ නිසි අවබෝධයකින් යුතුව තීන්දු තීරණ ගත යුතුයි. එක්සත් ජාතික පක්ෂය එලෙස තටයුතු කළ නිසා ඉන්ධන මිල සහ භාණ්ඩ  මිල අඩුකර විශාල වැටුප් වැඩි කීරීමක් සිදු කිරීමට හැකි වුණා. ඒ අතර ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබාගැනීමට හැකි වුණා.

එක්සත් ජාතික පක්ෂය දේශීය ව්‍යාපාරිකයින්ට තැනක් නොලැබෙන බවට අපට අසත්‍ය චෝදනා  කරනවා. නමුත් 1970 සිට 1977 දක්වා රටේ පාලනය ගෙන ගිය මේ අය ලංකාවේ මහා ව්‍යාපාර පවත්වාගෙන ගිය සොයිසලා, අමරසූරියලා,උපාලි විජේවර්ධනලා විනාශ කළා. බස් කොම්පැණි නැත්තටම නැති කළා. මෙලෙස විනාශ කළ අය අපට චෝදනා කරමින් ජනතාව මුලා කරන්න උත්සහ ගන්නවා. මේ බොරුව පරාජය කරමින් ජනතාවට සත්‍ය අවබෝධ කර දිය යුතුයි.

පාලකයින්ගේ දුර්වලතා නිසා අද මේ රට මහා ව්‍යසනයකට තල්ලු වී තිබෙනවා. ජනතාවට ජීවත්විය නොහැකි තත්වයකට ඔවුන්ගේ ආදායම් මාර්ග කඩා වැටිලා. එදා තුන් වේල කාලා ජීවත් වූ අයට අද එක වේලක්වත් සොයා ගත නොහැකි තත්වයට පත්වෙලා. ඇතැම් අය ප්‍රකාශ කරන්නේ කොරෝනා නිසා රට මෙවැනි අර්බුධයකට මුහුණ පෑ  බවයි. නමුත් මේ තත්වය ඇති වුණේ කොරෝනා නිසා නොවෙයි.

කොරෝනා නිසා ලොව බොහෝ රටවල්  ගොඩ යනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු රටවල් ගොඩ ගියා. දෙවන ලෝක යුද්ධයෙන් පසු රටේ මුදල් ඇමති ලෙස ජේ.ආර්. ජයවර්ධන මැතුතුමා රට ගොඩ දැමුවා.

කොරෝනා ව්‍යසනයෙන් පසු ලෝකයේ බොහෝ රටවල අලුත් නීතිසම්පාදනය කරගෙන තිබෙනවා. නමුත් අවාසනාවකට මෙන් ලංකාවේ එකම නීතියක්වත් සම්පාදනය කර නැහැ. මෙවැනි තත්වයක් මත මේ රට බරපතල ඛේදවාචකයකට තල්ලුවීම වැළැක්විය නොහැකියි. මෙහෙම ගියොත් තව වසරක් ගතවන විට ලංකාවේ ජනතාව මැටි අනලා ආහාරයට ගන්න තත්වයට පත් වෙනවා.

රට මෙවැනි තත්වයකට පත් කළේ බොරුවෙන් රටේ පාලනය ලබාගත් නිසයි. මේ අයට රට දියුණු කරන්න, ජාත්‍යන්තරය සමඟ ගණුදෙනු කරන්න දැක්මක් නැහැ. මේ අයට කළ හැකි එකම දේ ජාතිවාදය අවුස්සා බොරුව පතුරුවා ජනතාව මුලා කිරීම පමණයි.

මෙවැනි පසුබිමක් තුළ කල්ලියකට මේ තත්වයට මුහුණ දිය නොහැකියි. මේ තත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා අපෙන් කැඩී ගිය සියළුදෙනා කොන්දේසි විරහිතව නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්විය යුතුයි. එලෙස එක් වනවා නම් වෙනදා මෙන් ඔවුන් පිළි ගැනීමට අප සුදානම් බව කිව යුතුයි. 

පසුගිය කාලයේ අපේ පාක්ෂිකයන් බොහෝ දෙනෙක් අපෙන් වෙන් වුණ කල්ලිය සමඟ එක් වීමට ප්‍රධානතම හේතුව වුණේ එක්සත් ජාතික පක්ෂයත් සිරිකොතත් ඔවුන් වෙත ලබා ගන්නවා යැයි ඔවුන් ගෙන ගිය ප්‍රචාරය නිසයි. නමුත් මේ අය ඉන්නේ ඩයනගේ පක්ෂයේ කියා ඒ පාක්ෂිකයින් අවබෝධ කරගෙන නැවත තමන්ගේ මහ ගෙදරට පැමිණීම ආරම්භ කර තිබෙනවා.

2015 අපේ ආණ්ඩුව කටයුතු කරගෙන යාමට සිදු වුණේ අපි විසින් පත් කරන ලද වෙනත් පක්ෂයක ජනාධීපතිවරයෙකු සමඟයි. රනිල් වික්‍රමසිංහ මහතා උපායශීලිව කටයුතු කර ඒ ජනාධීපතිවරයා සතු බලතල පාර්ලිමේන්තුවට හා අගමැතිවරයා යටතට පත්කර ගැනීමට ක්‍රියා කළා. 

නමුත් ජනාධිපතිවරයාගෙන් දිගින් දිගටම අපේ ආණ්ඩුවට බලපෑම් එල්ල වුණා. දින 53 ක් අගමැති ධුරය පැහැර ගත්තා. ඒ අවස්ථාවේදී ඡන්දයකට යමු යැයි අපෙන් එළියට ගිය කණ්ඩායම යෝජනා කළා. කෙසේ හෝ නැවත ආණ්ඩුව ලබා ගෙන අප ඉදිරියට යන විට පාස්කු​ ප්‍රහාරය එල්ල වුණා. ඉන් අනතුරුව එළඹී ජනාධීපතිවරණයට සියළු පක්ෂ එකතු කරගෙන යෑමට අප උත්සහ කළත් අපේ කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාව ජනාධීපති අපේක්ෂක ලෙස නම් කළා. ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් අප කැප වීමෙන් කටයුතු කළත් ඔහු පරාජයට පත් වුණා.

නමුත් ඒ වන විටත් අපේ අගමැතිවරයෙක් හා අපේ ආණ්ඩුවක් පැවතුනක් එහි ඇමතිකම් හෝ අගමැතිකම වෙනස් කිරීමට නව ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ව්‍යවස්ථාවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉඩ සලසා තිබුනේ නැහැ. අවාසනාවකට මෙන් අපේම කීපදෙනෙකේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වන බවට ජනාධීපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා. ඒ තත්වය මත රනිල් වික්‍රමසිංහ මහතාට තව දුරටත් ආණ්ඩුව ආරක්ෂා කරමින් රටේ තරුණ තරුණියන්ට ලබා දීමට සුදානම් කර තිබූ රැකියා ලබා දීමටවත් අනෙකුත් රටවැසියාගේ බලාපොරොත්තු ඉටු කර දීමටවත් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

රට දියුණු කර යහපත් අනාගතයක් ගොඩනගා දිය හැක්කේ එක්සත් ජාතික පක්ෂ පාලනයකට පමණයි. ඒ අභිලාෂයන් ඉටු කර දීම සඳහා සියළු වාද භේද පසෙකලා පක්ෂය සමඟ නැවත එක්වන ලෙස පක්ෂය හැර ගිය සියළු දෙනාට කොන්දේසි විරහිතව පක්ෂයේ සභාපතිවරයා වශයෙන් මා ආරාධනා කර සිටිනවා.

මෙම බල මණ්ඩල රැස්වීම අමතා හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතිඥ නුවන් සොමිරත්න, දකුණු පළාත් සභාවේ හිටපු පක්ෂ නායක අසෝක ධනවංශ යන මහත්වරුන් අදහස් දැක්වූ අතර ඊට හිමිදුම එ.ජා.ප. සංවිධායක සුනිල් සේනානායක, බද්දේගම සංවිධායක ලීලානන්ද ඩයස් යන මහත්වරු ප්‍රමුඛ එ.ජා.ප. ක්‍රියාකාරීහු රැසක් සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේන් රුමේෂ් තරංගට ප්‍රථම ස්ථානය

ස්විටසර්ලන්තයේ ලුසෑන්හි පැවති "ඩයමන්ඩ් ලීග්" තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට. දක්ෂතාව මී:88.14 ක්. එය මෙම තරග වාරයේ ඔහුගේ 3 වන...

පවුම් මිලියන 9.5ක් පුවත්පතකට ගෙවන ලෙසට හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට අධිකරණ නියෝගයක්

බ්‍රිතාන්‍යය‍ේ ඩේලි මේල් පුවත්පතට එරෙහිව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පැවරූ නඩුව පරාජය වීමත් සමග හැරී කුමරු ඇතුළු සත් දෙනෙකුට පවුම් මිලියන 9.5ක් පුවත්පතට ගෙවන ලෙස එරට...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img