Sunday, November 15, 2026
HomeNEWSකුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටියයි -...

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටියයි – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

“කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වී ඇති බව” ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.09.20 දින පැවසීය.

හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ පැවති  “කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය – 2020” සඳහා එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මෙම අදහස් පළ කර සිටියේය.

කොවිඩ්-19 බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා රජයක් ලෙස පසුගිය කෙටි කාලය තුළ සහනදායී ණය පොලී අනුපාත හඳුන්වා දෙමින් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සහ ණය ඇපකර සපුරාදීමට හැකි වූ බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවේදී කොවිඩ් – 19 කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය යෝජනාවලිය සහතිකලත් කළමනාකාර ගණකාධිකාරී ආයතනයේ සභාපති හා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතා විසින් ගරු අග්‍රාමාත්‍යතුමා වෙත භාර දෙන ලදී.

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් ණය ඇපකර ආයතනයක් පිහිටුවීම, ආදායම් බදු සහන ලබාදීම, කම්කරු නීති සංශෝධනය සහ අපනයනය සඳහා අවශ්‍ය ආයතනයක් පිහිටුවීම යනාදී කරුණු මෙම යෝජනාවලියට ඇතුළත් ය.

ගරු අග්‍රාමාත්‍යතුමා  කළ සම්පූර්ණ කතාව මෙසේය,

මේ ශාලාවේ මෙවැනි සම්මන්ත්‍රණයක් පවත්වන්න හැකිවීම පිළිබඳව ප්‍රථමයෙන් සතුටු වෙනවා. පසුගිය වසර පහේ මේ සම්මන්ත්‍රණ ශාලාවේ වී ගබඩා කළේ නැති නිසා, අද ඔබට එය පාවිච්චි කරන්න හැකියාව ලැබිලා තියෙනවා.

“ පළමුවන ප්‍රාදේශීය කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය  ආරම්භ කිරීම සඳහා මා හට ආරාධනා කිරීම පිළිබඳව, සහතිකලත් කළමනාකාර ගණකාධිකාරී ආයතනයේ සභාපති හා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතාට ස්තුතිවන්ත වෙනවා.

වෘත්තීය ආයතන, වාණිජ මණ්ඩල, වාණිජ බැංකු සහ කර්මාන්ත පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත මෙම ආයතනයේ, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුව පිහිටුවීම, ඉතා කාලෝචිත ක්‍රියාවක්. එය, ඇත්ත වශයෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට කරනු ලබන වැදගත් සේවාවක්. 

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය අද අපේ රටේ ආර්ථිකයේ කොඳුනාරටියයි.  එය, අප රටෙහි සෑම අංශයකම නියෝජනය වීම සතුටක්. අපගේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 52 ක් සඳහා එම අංශය දායක වෙනවා. සමස්ත රැකියාවන්ගෙන් සියට 45 ක් ඊට අයත්. එසේම, එම අංශය, දිවයිනේ මුළු ව්‍යවසායක සංඛ්‍යාවෙන් සියට 75 කින් සමන්විතයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි බැංකු නවයක ගනුදෙනුකරුවන් 300 ක් පමණ  මෙම වැදගත් සම්මන්ත්‍රණය සඳහා එක්වීම මම ඉතා අගය කරනවා. “නව ආර්ථිකය තුළ මුදල් කළමනාකරණය, බැංකු අරමුදල් සැපයීම සහ ව්‍යවසායක නායකත්වය සම්බන්ධයෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය අද මුහුණපාන අභියෝගවලට මුහුණදීම පිණිස විසඳුම්” යන තේමාවෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වීම ඉතාම කාලෝචිතයි.

මුදල් අමාත්‍යංශය යටතේ, ශ්‍රී ලංකා මහා බැංකුවේ සහයෝගය ඇතිව, කොවිඩ්-19 මඟින් බලපෑමට ලක් වූ ව්‍යාපාර නගා සිටුවීම සඳහා රුපියල් බිලියන 100 ක මුදලක් ප්‍රදානයක් කිරීමට හැකිවීම, සතුටට කරුණක්. 

අපි පසුගිය කෙටි කාලය තුළ ණය සඳහා සහනදායී පොලී අනුපාත හදුන්වා දෙමින්, කාරක  ප්‍රාග්ධන අවශ්‍යතා, ණය ඇපකර ලබාදීම ඔස්සේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් නැවත නගාසිටුවීමට අවශ්‍ය පියවර ගත්තා.

මෙම සම්මන්ත්‍රණයේදී, විධිමත් මුදල් කළමනාකරණය, ව්‍යාපාර දියුණුකිරීම පිණිස අරමුදල් නිසිපරිදි භාවිතාකිරීම, පුහුණුකිරීම් සහ කුසලතා වර්ධනය දේශීය සහ අපනයන අලෙවිකරණය සහ කම්කරු කටයුතු බඳු වැදගත් ක්ෂේත්‍රයන් ආවරණය වන බව පැහැදිලියි. 

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්  මගින් කෙරෙන අපනයනවල ගෝලීය ප්‍රතිශතයේ සාමාන්‍යය සියයට 30 ක්. නමුත්, ලංකාව සම්බන්ධයෙන් එම ප්‍රතිශතය සියයට 5 ක්. එය වැඩිකිරීම සඳහා රජයක් ලෙස අප සහයෝගය දක්වන බව මේ අවස්ථාවේ  ප්‍රකාශ කිරීමට කැමතියි.

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය නිෂ්පාදන අපනයනය කිරීම සම්බන්ධයෙන්  අපනයන නිවසක් පිහිටුවීම පිළිබඳව මම එම කමිටුවට සුභ පතනවා. ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමය ලබාගැනීමට  අදාළ මෙම කාර්යය සඳහා දිරිගැන්වීම රජයක් ලෙස අපි වගකීමෙන් ඉටු කරනවා.

එසේම, හම්බන්තොට වැනි ඉතා දුෂ්කර ප්‍රදේශවල කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳව අපි නිරන්තරයෙන් අවධානය යොමු කරන බව ප්‍රකාශ කරන්න කැමතියි.

එසේ ම, ණය ඇපකර ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙම කමිටුවේ නිර්දේශ පරිදි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳව ද මම සන්තෝෂ වෙනවා. 

වත්කම් හිඟකම නිසා අලුතින් පිහිටුවන සමපාර්ශ්විය ඇපකරුවන් ඉදිරිපත් කළ නොහැකි කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන්, විදේශීය මුදල් ලබාදෙන ආයතනවල සහාය ලබාගෙන මෙම ආයතනය  පිහිටුවීම සඳහා මාගේ සහාය ලබා දෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය සංවර්ධනය කිරිම පිණිස බැංකු අංශයට ද සුභ පැතීමට අපි කැමැතියි. අද  දිනෙන් අරඹනු ලබන මේ සම්මන්ත්‍රණය, අනෙකුත් දිස්ත්‍රික්ක වලත් පැවැත්වීමට හැකිවනු ඇතියි මම විශ්වාස කරනවා. 

මෙමඟින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්  සඳහා සහ ශ්‍රී ලාංකික ආර්ථිකය සඳහා ද ප්‍රතිලාභ ලැබෙන බව විශ්වාසයි. මේ ආයෝජකයන් නැගී එන බවට බැංකු සාක්ෂි දරනවා. බැංකුවලින් තමන් විසින් ගන්නා ලද ණය මුදල් වාරික නිසි කලට ගෙවීමෙන් බැංකු අංශයේ ණය හානිවීම් අඩු වෙනවා. එමගින් බැංකු ගනු දෙනු කරන සියලු පාර්ශ්වයන්ට තව තවත් ණය ලබාදීමට හැකියි.

අවසන් වශයෙන් සහතිකලත් කළමනාකාරී ගණකාධිකාරී ආයතනයේ, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණයට මාගේ සුභ පැතුම් එක් කරනවා. දේශීය වෙළඳපොලේ, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා අපනයනකරුවන්ට විදේශ විනිමය උපයමින්  දක්වන දායකත්වයට සුභ පතනවා. “ යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.
මෙම අවස්ථාව සඳහා වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසායක ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති සහතිකලත් කළමනාකාර ගණකාධිකාරී ආයතනයේ සභාපති හා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල, ඩී.එස්.අයි.සමාගම් සමූහයේ සම්මානිත කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය කුලතුංග රාජපක්ෂ, හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ සුරේෂ් ද මෙල් මහත්වරු  හා බැංකු සහ මුල්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්  විශාල පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img