මේක ගැසට් අකුලන ආණ්ඩුවක්
පොළොන්නරුව තමන්කඩුව, අඹන්ගඟ, දකුණු ඇල ශ්‍රී විවේකාරාමය ට පැමිණි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,විහාරාධිපති පූජ්‍යපාද ශාස්ත්‍රවේදී මහබැද්දේ ආනන්ද නා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.ඉන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
පොළොන්නරුව තමන්කඩුව, අඹන්ගඟ, දකුණු ඇල ශ්‍රී විවේකාරාමය විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂනායකවරයා මෙසේද පැවසීය.
“20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කර තිබෙන්නේ පුද්ගලිකත්වය මතයි. රජය ඇතුළේ තිබෙන බලඅරගලයක ප්‍රතිඵලයක් විදිහට මම මේක දකිනවා.
රටේ අනාගතය ගැන හිතලා, රටේ ජනතාව ගැන හිතලා රටේ ජනතාවගේ අනාගත අභිවෘද්ධිය ගැන හිතලා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය වෙනවා නම් එය සිදුවිය යුත්තේ. නමුත් මෙතනදි ඒ කිසිවක් සිදුවෙලා නැහැ.
දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය, විගණන ක්‍රියාවලිය ශක්තිමත් වුණා. ස්වාධීන කොමිෂන් සභා හරහා තනි පුද්ගලයෙකුට තනි තීන්දු අරගෙන රට අවුල් ජාලාවක කිරීමේ කර්තව්‍ය සම්පූර්ණයෙන්ම ඇහිරිලා තියෙනවා.
ස්වාධීන කොමිෂන් සභාවලට, යහපත් රාජ්‍ය ආයතන වලට ව්‍යාප්ත වෙලා තිබිච්ච බලය එක තැනකට කේන්ද්‍රගත වෙලා යම්කිසි ඒකාධිපති බලයක් නිර්මාණය වීම 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිද්ධ වෙනවා. ඒක අපේ රටට සිදුවූ බරපතළ හානියක් විදියට මම දකිනවා.
මෙම ව්‍යසනයෙන් රට බේරා ගැනීම සඳහා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරලා 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිහින් එය තවදුරටත් ශක්තිමත් කළ යුතුයි.
19න් බලය ලැබුන යහපත් ආයතන සුරැකීමෙන් එම ආයතන තවදුරටත් ස්වාධීන කරමින් ඒ ආයතන වලට ලබාදිය යුතු මානව සම්පත, භෞතික සම්පත, මූල්‍ය සම්පත ලබා දිය යුතුයි.
අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් අතර තිබෙන බල අරගලය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඒ තනතුරු දෙකටම යම් බලයක් ලබා දීලා සංවර්න හා තුලන වැඩපිළිවෙලක් තුළින් අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා ඒකාධිපති බලයක් ලබා නොගන්නා තත්ත්වයට සමබර ප්රජාතන්ත්රවාදී පාලනයක් නිර්මාණය කරන්න අපි කටයුතු කරනවා.
ජනතා ප්‍රශ්ණ, ජීවන වියදම පිලිබඳ ප්‍රශ්න විසදන්නේ නැතුව පොල් ගන්න ටේප් එකක් අරන් පොලේ යන්න කියලා ආණ්ඩුව ජනතාවට දැන් කියනවා. වර්තමාන ආණ්ඩුවට මේ තරම් විශාල ජන වරමක් ලැබිලත් විහිළු සහගත ක්‍රියාවන් සිදුකරමින් සිටිනවා.
මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් දීලා අපේ රටේ ජනතාවට පොලට යන වෙලා තියෙන්නේ ටේප් එකක් අරගෙන. මේ රටේ මහ වියතුන් ගෙන් සමන්විත පාලනයක් නිර්මාණය වෙනවා කියලා ඇත්ත වශයෙන්ම සිද්ද වෙලා තියෙන්නේ හැම අවස්ථාවකම ගැසට්පත්‍ර ගගහා ඒ ගැසට් පත්‍ර අකුලා ගන්න තත්වයක් නිර්මාණය වීමයි.
සැමන් මිලට පරිප්පු මිලට ගැසට් පත්‍රයක් ගැහුවා. පසුව ඒක හකුළා ගත්තා. හාල් මිලට ගැසට් පත්‍රයක් ගැහුවා. වී මෝල් හිමියන්ගේ හාල් මෝල් හිමියන්ගේ අධිකාරී බලයට රජය දණගහලා ඒ ගැසට් පත්‍ර හකුළා ගත්තා. ගහන ගහන හැම ගැසට් පත්‍රයක්ම අකුලගෙන ඉතාම අකාර්යක්ශම අවිනිශ්චිත පාලනයක් තමයි මේ රජය ගෙන යන්නේ. වර්ථමාන අගමැතිතුමා ජනාධිපතිවරණයේදීත් ඉන්පසුවත් වේදිකාවට නගින කොටත් පොල් ගෙඩියක් පොල් බෑයක් අරගෙන නගින්න අමතක කළේ නැහැ. පොල් ගෙඩි ටික අරගෙන වේදිකාවල නැගලා පොල් මිල පිළිබඳව රටේ ජනතාවට සත්‍යවාදී විග්‍රහයක් කරන්න කියලා අගමැති තුමා ඇතුළු රජයෙන් අපි ඉල්ලීමක් කරනවා.
මේක තමයි වියත්මග. මේ ආකාරයෙන් ආණ්ඩුව බොහොම වියත් විදියට අද රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සිටිනවා. මේ විදියට වියත් ආකාරයෙන් රටේ ජනතාවට සලකමින් ඉන්න එක ගැන ජනතාවාදී විපක්ෂයක් විදියට අපි කණගාටු වෙනවා.
රටට විහිළු සපයන රාජ්‍ය පාලනයක් බිහිවීම පිළිබඳව දැන් රටේ ජනතාවට හිතන්න හොඳ අවස්ථාව උදාවෙලා තියෙනවා.
රටේ ජනතාවගේ ගැටලු විසඳීම පැත්තකින් තියලා දැන් ආන්ඩුව විසිවන සංශෝධනය අල්ලගෙන සිටිනවා. විසිවන සංශෝධනය පැහැදිලිවම රටට වින කරන රටේ ප්රජාතන්ත්රවාදයට අහිතකරන පොදු ජනතාව ගේ ස්වෛරීත්වය විනාශ කරන දැවැන්ත බලඅධිකාරියක් එක ආයතනයක ස්ථාපනය කරන ක්‍රියාදාමයක්. රටේ බහුතරයක් ජනතාව මේක භාර ගන්න සූදානම් නැහැ.
මේ ආණ්ඩුවේ සරල බොළඳ පැලැස්තර න්‍යායේ තවත් එක් කාරණයක් තමයි මේ විදියට ඉදිරිපත් කරන්නේ. 20 වන සංශෝධනයට ආණ්ඩුවෙන්ම විශාල පිරිසක් විරුද්ධයි. ඒක රටින් සඟවන්නට මේ අය උත්සාහ කරනවා.
මේ ආණ්ඩුව ජනතා විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ දමලා තියෙනවා. මේ රටේ ජනතාව මුහුණදෙන ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, දේශපාලනික පරිසර යන සෑම ප්‍රශ්නයක් වෙනුවෙන්ම රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් විපක්ෂය විදිහට අපි එකට හිට ගන්නවා.
පොදු ජනතාව ජීවත් කිරීම වෙනුවෙන් කැපවෙන අලුත් දේශපාලන ප්‍රවාහයක් විදියට තමයි අපි කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුන දෙන්න අපි සූදානම්” යැයිද විපක්ෂනායකවරයා එහිදී පැවසීය.

































