කොවිඩ් ගැන පාර්ලිමේන්තු විවාදයක්
ලබන 23වැනි සිකුරාදා කොවිඩ් නයින්ටීන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේය.
කොවිඩ් නයින්ටීන් වෛරසය රට තුළ ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී කරුණු විමසීමක් සිදුකළ අතර අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේය.
ඒ අනුව, ලබන සිකුරාදා සභාව කල්තැබීමේ විවාදයක් ලෙස එම විවාදය පැවැත්වීමට ආණ්ඩු පක්ෂය එකඟතාව පළකළ අතර එදින පෙරවරුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ දිවා විවේකය නොමැතිව පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට තීරණය කර තිබේ.






















