2021 අය වැය වැඩිජන්ද 97 කින් සම්මතයි
2021 අයවැය ලේඛනය වැඩි ජන්ද 97 කින් පාර්ලිමේන්තුවේ දී අද (10) සම්මත විය. අය වැයට පක්ෂව ජන්ද 151 ක් ලැබුණු අතර, විපක්ෂව ජන්ද 54ක් හිමි විය. සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය අය වැයට විරුද්ධව ජන්දය භාවිත කළේය. ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මන්ත්‍රීවරු ජන්දය භාවිත කරන අවස්ථාවේ සභාගර්භයේ නොසිටියහ.
මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමානොවැම්බර් 17 දින 2021 වර්ෂය සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. මෙරට 75 වැනි අයවැය ලේඛනය වන මෙය, වත්මන් රජයේ මංගල ලේඛනය ද වේ.
2021 මුදල් වර්ෂයට අදාලව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට විසර්ජන පනත් කෙටුම්පත මඟින් යෝජනා කරතිබුණි.
අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව නොවැම්බර් 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත් වූ අතර දෙවන වර කියවීම වැඩි ජන්ද 99 කින් සම්මත විය. අය වැය දෙවන වර කියවීමට පක්ෂව ජන්ද 151 ලැබුණූ අතර, විරුද්ධව ජන්ද 52 ක් හිමි විය.
ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව නොවැම්බර් 23 වැනිදා සිට අද (10) දක්වා පැවැත් වූ අතර, ජන්ද විමසීම පස්වරු 05.00 ට පමණ සිදු විය.






















