පේරාදෙණිය ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලයේ වෘත්තීය සමිති 13ක් අද (01) අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවෙමින් සිටී.
ඒ අත්‍යවශ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.
එම වැඩවර්ජනය සඳහා සේවක සේවිකාවන් 400කට ආසන්න පිරිසක් එක්ව සිටින බව වාර්තා වෙයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් පේරාදෙණිය හෙද නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති, එස්.ඩී.බී අරුණ ශාන්ත මහතා පවසා සිටියේ, රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය උපකරණ නොමැති වීම මෙම වැඩවර්ජනයට මුලික හේතුව වු බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“අපි වෘත්තීය අරගලය කරත් කිසිදු රෝගියෙකුගේ ජීවිතයට හානියක් නොවන ආකාරයට සෑම වාට්ටුවකම හදිසි ප්‍රතිකාර තියලා. දැඩි සත්කාරයේ කිසිදු නිලධාරියෙක් එළියට ගත්තේ නෑ. මේකට ප්‍රධාන අරමුණ පරිපාලනය විසින් ගන්නා දැඩි තීරණයි. කිසිදු නම්‍යශීලි බවක් නෑ. අපිට සේවා ස්ථානයේ ආරක්ෂාවක් තියෙන්න ඕනේ. වාට්ටුවල තැන් තැන්වල කොවිඩ් රෝගීන් මතුවෙනවා. අපේ බලාපොරොත්තුව අපිට ආරක්ෂාව ලබාදෙන්න.“






















