ආනයනයික කිරිපිටි රැගත් නෞකාවල ප‍්‍රමාදය සහ ගුදම් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් පවතින කිරිපිටි හිඟය තවත් මාස දෙකක් පමණ පවතිනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එහි මාධ්‍ය ප‍්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසුවේ, ආනයනික කිරිපිටි මිලදීගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැති වීම හේතුවෙන් බැංකු හරහා ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවය.
කෙසේවෙතත් පවතින ආනයනික කිරිපිටි හිඟය හේතුවෙන් පාරිභෝගිකයා අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා දේශිය කිරිපිටි සමාගම් පියවර ගත යුතු බවද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක අශෝක බණ්ඩාර මහතා,
“වෙළෙඳපොළේ කිරිපිටි යම් කිසි හිඟයක් තියෙනවා කියලා අපට පිළිගන්න වෙනවා. ඒක ආනයනය සීමා කිරීමකට වැඩිය ඇත්තටම එතන වෙලා තියෙන්නේ කිරිපිටි ආනයනය කරන කොට ණයවර ලිපි විවෘතකරන්න ඕනේ බැංකු හරහා. මේ අවස්ථාවේදී බැංකුවල ඩොලර් සම්බන්ධයෙන් යම් හිඟයක් තියෙනවා. ඒක මම හිතන්නේ කිරිපිටවලට විතරක් නෙමෙයි ආනයන කරන නිෂ්පාදනවලට බලපාන දෙයක්. දැන් කිරිපිට හිඟයට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ ඔය ණයවර ලිපි විවෘත කිරීමේ ප්‍රශ්නය නිසා බැංකු හරහා ඒ බැංකුවලින් අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලැබෙනවා. ඒ ලැබෙන්නේත් බොහොම සුළු ප්‍රමාණයක්. අනික ඒකෙත් පොඩි ප්‍රමාදයක් තිබෙනවා. ඒකත් එක හේතුවක්. දෙවෙනි හේතුව තමයි වෙළෙඳපොළේ නවසීලන්තයෙන් හරි ඔස්ට්‍රේලියාවෙන් හරි නැවක් එනවානම් කිරිපිට අරගෙන ඒ නැව සති තුනක් හතරක් ඇතුළත එනවා. දාලා තියෙන ඇනවුම් මාස දෙකක් ප්‍රමාද වෙනවා. නැව්වල ඒමේ ප්‍රමාදය තියෙනවා. මම හිතන්නේ හැමෝටම බලපානවා අපේ ලංකාවට පමණක් නෙමෙයි. ඒ වගේම නැව්වල ගුදම් ගාස්තු ඉතාමත් විශාල වශයෙන් ඉහළ ගිහිල්ලත් තියෙනවා. ඉතින් ඒ කරණු තුන ගත්විට වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් තියෙනවා කියලා අපිට පිළිගන්න වෙනවා.”






















