ආනයනික කිරිපිටි මිල ඉදිරි දින කිහිපය තුළ ඉහළ දැමීමට සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඉහළ දමන මිල ගණන් සම්බන්ධයෙන් අද (30) දිනයේ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවය.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ද ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් විසින් පියවර ගනු ලැබීය.
එසේ මිල ඉහළ දැමීමක් සිදුකළ ද ලෝක වෙළෙඳපොළේ මිල යළිත් වරක් ඉහළ යාම හේතුවෙන් පවතින මිල ගණන් යටතේ කිරිපිටි තවදුරටත් ලබාදීමට නොහැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
මේ වන විට කිරිපිටි සඳහා පාලන මිලක් නොමැති අතර එම නිසා ආනයනකරුවන්ට කිරිපිටි මිල වැඩි කිරීමට අවස්ථාව හිමිව තිබේ.
කිරිපිටි ආනයන සමාගම් විසින් එම මිල වැඩි කිරීම ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු වන බව අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් පසුගිය සති කිහිපය තුළ වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ද පවතී.
මේ වන විට කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 480කට සහ කිලෝග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,195කට අලෙවි කෙරේ.






















