වත්මන් ඩොලර් හිඟයක මඟ හරවා ගැනීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයෙකුගෙන් මාසිකව ඩොලර් සියයක මුදලක් මෙරටට ගෙන්වාගැනීමට නව වැඩපිළිවෙලක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඊයේ (23) රාත්‍රී “ටීවි දෙරණ” ඔස්සේ විකාශය වු අලුත් පාර්මේන්තුව වැඩසටහන සමග එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම අදහස් පළ කළේය.
“අපි යෝජනාවක් කරලා තියෙනවා. ඒ යෝජනාව සලකා බලමින් යනවා. ඩුබායිවල ඉන්නවා ලක්ෂ 3ක් ශ්‍රී ලාංකිකයින්. අනෙක් රටවලත් ඉන්නවා මේ වගේ විශාල පිරිසක්. ඔවුන් මැදපෙරදිග ඇතුළු රටවලට ගිහින් තියෙන්නේ තමන්ට කියලා ඉඩමක් ගන්න, ගෙයක් හදාගන්න. දරුවන්ට උගන්වන්න. ව්‍යාපාරයක් පටන් ගන්න. අපි ඒ අයට කියනවා ඔබ රටවිරුවෙක් හැටියට රට පත්වෙලා තියෙන තත්ත්වය තුළ හැම මාසයකම ඩොලර් 100ක් ස්ථීර තැන්පතුවකට එවන්න. එතකොට ඩොලර් 1,200ක් හම්බ වෙනවා වර්ෂයක් තුළ. වර්ෂය තුළ දී හම්බවෙන මුදල මෙන් 10 ගුණයක් රුපියල්වලින් ලක්ෂ 25ක ණයක් දෙනවා. ඔවුන්ට අවුරුදු 10කින් ගෙවන්න. ලක්ෂ 25 ණය දෙන්නේ සාමාන්‍ය පොළියට නෙමෙයි. 6%ක් වගේ විශාල අඩු පොළියකට. අඩු පොළියකට දුන්නොත් ලක්ෂ 25කට අවුරුදු 10ක් ණය දුන්නොත් රුපියල් ලක්ෂ 15ක් තමා පොළිය ලැබෙන්නේ. මේ පොළිය මාස 120න් බෙදුවොත් වාරිකයක හැටියට ගෙවන්න වෙන්නේ රුපියල් 33,333යි. එයා හිතනවා උන්ඩියල් ක්‍රමයට රුපියල් 20ක් තාවකාලිකව ගන්නවා ට වඩා මම ස්ථාවර දේට අරන් ගෙයක් හදාගන්නවා ඉඩමක් ගන්නවා කියලා. ව්‍යාපාරයක් පටන් ගන්න මේ මුදල රටට එවන්න පුළුවන් කියලා. ඒක උපායක්.”
කෙසේවෙතත් වත්මන් ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස පොලී අනුපාතය ඉහළ දමා ඩොලරයේ අගය පාලනය කිරීමකින් තොරව පවත්වාගෙන යා යුතු බව අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමග එක්වු සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න සහ හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
මේ පිළිබඳ අදහස් දැක්වු ඉරාන් වික්‍රමරත්න මහතා,
“රජයක් ඩොලර් එකක් ගන්න මිලක් තියෙනවා නේ, ඒ මිලටම ඩොලර් එක විකුණන්න ඕනේ. තියෙන්න පුළුවන් පොඩි ස්පෙඩ් එකක්. ගන්න මිලට විකුණන් පුළුවන් වෙන්න ඕනේ රජයකට. එහෙම කළේ නැත්නම් එක ප්‍රශ්නයක්වත් විසඳන්න බෑ. පාලනය හරහා විසඳන්න බෑ මේක.”
මේ පිළිබඳ අදහස් දැක්වු හර්ෂ ද සිල්වා
“ඔයගොල්ලන්ට කරන්න තියෙන දේ තමා මම දකින විදියට පොළිය අනුපාතයේ එජස්ට්මන්ට් එකක් කරන්න. අඩුම තරමේ 5%කින්වත් පොළිය අනුපාතය ඉහළ දාන්න වෙනවා. කෙටි කාලීනව කරන්න තියෙන දෙයක්. පොළිය අනුපාතය 5%කින්වත් ඉහළ දැමුවාට පස්සේ, රුපියල ඩොලරයක සාපේක්ෂව වෙළෙඳපොළේ අලුත් සමතුලිත මිලකට වෙළෙඳපොළ හරහා ගේන්න සිද්දවෙනවා. එහෙම නැත්නම් වෙළෙඳපොළ ට ස්ථාවර මිලක් හොයාගන්න අවස්ථාව දෙන්න පුළුවන්. එතකොට ඩොලර් සැපයුම වැඩිවෙනවා. සැපයුම වැඩි වෙනකොට ඉල්ලුම ට සාපේක්ෂව යම් සමතුලිත තැනකට මේ ඩොලර් එක එනවා. ඔයාලා තව දුරටත් මේක කල්දැමීමෙන් වෙන්නේ දැන් තියෙන තත්ත්වයත් නැතිවෙලා යනවා.”






















