දැරියක් දූෂණය කිරීමේ සිද්ධියට වරදකරුවී මේ වනවිට සිරදඬුවම් නියමවී සිටින ප්‍රාදේශීය සභා හිටපු සභාපතිගේ පෙත්සම විභාග කිරීම පිළිබඳ තීන්දුව ලබන මස 05 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (08) නියෝග කළේය.
ඒ, අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා ව ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම විභාග කිරීම සම්බන්ධයෙනි.
බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු ඒ මහතා බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියම වී සිටී.
ඒ අනුව අභියාචනාධිකරණය නියෝග කළේ පෙත්සම විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන තීන්දුව අප්‍රේල් මස 05 වනදා ප්‍රකාශයට පත් කරන බවය.
අදාළ පෙත්සම පිළිබඳ කරුණු සලකාබැලීමෙන් අනතුරුව මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත්කර තිබුණි.
සිරදඬුවම් නියම වී සිටින සාරුව ලියනගේ සුනිල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා වරදකරු කරමින් මහාධිකරණය විසින් ප්‍රකාශයට පත්කිරීමට යෙදුණු තීන්දුව නීතියට පටහැනි බව සඳහන් කළේය.
තීන්දුව ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා නීතිය වැරදි ලෙස අර්ථ කථනය කරමින් මෙම තීරණයට එළැඹ ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
විත්තිකරු විසින් තමාව දුෂණය නොකළ බවට වින්දිත දැරිය අධිකරණය හමුවේ සාක්ෂි දී තිබියදී වීඩියෝ සාක්ෂියක් උපයෝගී කරගෙන තම සේවාදායකයා වරදකරු කිරීම පිළිගත නොහැකි බවත් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේය.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, විත්තිකරු වරදකරු කරමින් මහාධිකරණ විනිසුරුවරයා දුන් තීන්දුව නීත්‍යනුකූල බව පැවසීය.
එබැවින් විත්තිකරුගේ මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරු මඩුල්ල මෙම ඇප ඉල්ලීම විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන තීන්දුව අප්‍රේල් මස 05 වනදා ප්‍රකාශයට පත් වෙන බව නිවේදනය කර තිබුණි.
කොළඹ මහාධිකරණය විසින් 2020 වසරේ ජනවාරි මස දිනයකදී සාරුව ලියනගේ සුනිල් මහතා වරදකරු කරමින් බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කර තිබුණි.






















