රුසියා – යුක්රේන සාම සාකච්ඡාවල සිව්වන අදියර මේ වන විට වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙයි.
යුක්රේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස මෙහිදී රුසියාවට බල කරන බවය.
රුසියා – යුක්රේන යුද ගැටුම් ආරම්භ වී අදට දින 19කි.
යුක්රේනයේ අගනුවරට ආසන්න වී ඇති රුසියානු හමුදා සිය ප්‍රහාර තවත් දැඩි කර තිබේ.
මරියුපෝල් නගරයේ මාතෘ රෝහලකට පසුගියදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගැබිනි මව සහ ඇගේ දරුවාත් මියගිය බව විදෙස් මාධ්‍ය අද වාර්තා කකළේය.
තුවාල ලැබූ ගැබිනි මව වෙනත් රෝහලක් වෙත මාරු කර යවන අවස්ථාවේදීත් බිළිඳා කුස තුළම මියගොස් තිබුණි.
ඒ බව අසා දැඩි කම්පනයට පත්වූ මව වැළපෙමින් හඬනඟා තිබුණේ තමා ද මරා දමන ලෙසය.
සිසේරියන් සැත්කමකින් බිළිඳු කලලය ඉවත් කිරීමෙන් පසු ගැබිනි මව ද මියගොස් තිබුණේ යුද්ධයේ කුරිරු බව යළිත් ලොවට පසක් කරමිනි.
මේ අතර මරියුපොල් හි තිබූ රුසියානු සන්නද්ධ හමුදා රථ කිහිපයක් සහ අණදෙන මධ්‍යස්ථානයක් මිසයිල ප්‍රහාරවලින් විනාශ කිරීමට යුක්රේන හමුදා ඊයේ සමත්වුණි.
යුක්රේන බලධාරීන් පවසන්නේ රුසියානු හමුදා මේ වන විටත් කියුව් අගනුවර වටලමින් සිටින බවය.
කියුව් හි ඉදිරි ආරක්ෂක වළල්ල තවත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
යුක්රේන ජනාධිපතිවරයා
“ඔවුන්ට කියුව්වලට ඇතුළු වෙන්න පුළුවන් වෙන්නේ අප සියල්ලන්ම මරා දැමුවොත් පමණයි. ඔවුන්ගේ අරමුණ එය නම්, ඔවුන්ට එන්න දෙන්න.”
මේ අතර පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියානු ප්‍රහාරක ගුවන් යානා බලඇණියක් හොස්ටමෙල් ගුවන්තොටුපළ අත්පත් කරගත් අවස්ථාවේ ලබාගත් වීඩියෝ පටයක් එරට ආරක්ෂක අමාත්‍යාංශය මාධ්‍යයට නිකුත් කර තිබුණි.
රුසියාව, යුක්රේනයේ යුද මෙහෙයුම්වලට හමුදා උපකරණ සහ ආධාර ලබාදෙන ලෙස චීනයෙන් ඉල්ලීමක් කර ඇති බවට අමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
නමුත් අමෙරිකාවේ චීන තානාපති කාර්යාලය එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.
අමෙරිකාව අනතුරු අඟවන්නේ සම්බාධක මඟහැර යාම සඳහා රුසියාවට උපකාර කළහොත් චීනයට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවටය.
මේ අතර යුක්රේනයේ යුද පුවත් වාර්තාකරණයේ නිරතව සිටි සම්මානලාභී අමෙරිකානු මාධ්‍යවේදියෙකු වන බ්‍රෙන්ට් රෙනෝඩ් රුසියානු ප්‍රහාරයකින් ඊයේ මියගොස් තිබේ.
ඒ, මේ වන විට දරුණු සටන් පවතින කියුව් අගනුවර අසල ඉර්පින් නගරයේදීය.
කලක් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර ඇති 50 හැවිරිදි බ්‍රෙන්ට් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ද වෙයි.
රුසියා යුක්රේන යුද්ධයේදී මියගිය පළමු විදේශීය මාධ්‍යවේදියා බ්‍රෙන්ට් වන අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහුගේ සහෝදර මාධ්‍යවේදියා වනවිට යුක්රේනයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.






















