මේ වනවිට සාමාන්‍ය පරිදි තෙල් සැපයුම සිදුවෙමින් පවතින බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති, මොහොමඩ් උවයිස් මහතා පවසයි.
“දෙරණ අරුණ”ට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පවසා සිටියේ, තව සුළු වේලාවකින් තෙල් බවුසර් සියල්ල ඛනිජ තෙල් පර්යන්තයෙන් පිටවීමට සුදානම් බවය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“ලංකාව පුරා කොළොන්නාව විතරක් නෙමෙයි මුතුරාජවෙල ඒ වගේම ලංකාව පුරා තොග ගබඩා පර්යන්තයන් තියෙනවා 11ක්. මේ දෙකත් එකතුව 13ක් තියෙනවා. ඒ සියලුදේටම අවශ්‍ය තෙල් සැපයුම නිසි පරිදි සිදුවෙනවා කියලා ඉතාම සතුටින් කියන්න කැමතියි.
අපි කිසිම බාධාවකින් තොරව සත්‍යග්‍රහය කරගෙන යෑමට අවස්ථාව ලබාදීලා තිබුණා. අපි ඒ මොහොතේ ඉල්ලා සිටියේ වෘත්තීය සමිතිවලින් කිසිදු ලෙස මෙහෙයුම් කටයුතුවලට බාධා කරන්න එපා කියලා. නමුත් ඊට ඔබ්බට ගිහින් ඊයේ සවස 2 වෙද්දි මේ අය වැඩවර්ජනයක් සඳහා බලහත්කාරයෙන් අපේ සේවකයින්ව එකතු කරගත්තා. ඒ වගේම බලහත්කාරයෙන් තැන් තැන්වලට ගිහින් වැඩ කටයුතු අවහිර කළා. ඒ නිසා ජනාධිපතිතුමා සහ ඇමතිතුමා මාව දැනුවත් කළා මේ අයට නීතියානුකූල ක්‍රියාමාර්ග ගන්න කියලා.
මුලින්ම අපි වෘත්තීය සමිති නායකයින්ට සහ ඍජුවම සම්බන්ධ වුණ සේවකයින්ට තාවකාලිකව වැඩට ඒම තහනම් කරනවා. ඊට අමතරව වහාම කමිටුවක් පත්කරලා කරුණු ලබාගෙන නීතියානුකූල ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙනවා.
අපි සේවකයින් සමග සාකච්ඡා කළා. ඔවුන් සාමාන්‍ය පරිදි සේවයට සම්බන්ධ වීමට කැමැත්තෙන් ඉන්නවා. ඒ අයට තියෙන එකම ප්‍රශ්නය තමා බලපෑම්වලට නතුවීම. ඒ අයට සුරක්ෂිතභාවය ලබාදෙන්න කියලා තමයි අපෙන් ඉල්ලීමක් කළේ. අපි ඒ සුරක්ෂිතභාවය ලබාදෙනවා. අද වගේ සාමාන්‍ය පරිදි ඔවුන් වැඩකරගෙන යයි. ඒකත් අපිට බැරි වුණොත් අපි තවත් විකල්පයක් ලෙස වෙනම කණ්ඩායමක් පුහුණු කරලා තියෙනවා. ඔවුන්ව යොදාගෙන බෙදාහැරීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව ඉතා වගකීමෙන් කියන්න කැමැතියි.”






















