Monday, November 9, 2026
HomeNEWSඅරගලයක් නොතිබුණානම් පාර්ලිමේන්තුවේ මහලේකම් තවමත් ධම්මික දසනායක මහතා බව නියෝජ්‍ය කථානායක අජිත්...

අරගලයක් නොතිබුණානම් පාර්ලිමේන්තුවේ මහලේකම් තවමත් ධම්මික දසනායක මහතා බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියයි.


අරගලයක් නොතිබුණානම් පාර්ලිමේන්තුවේ මහලේකම් තවමත් ධම්මික දසනායක මහතා බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියයි
අරගලයක් නොතිබුණානම් පාර්ලිමේන්තුවේ මහලේකම් ලෙස තවමත් ධම්මික දසනායක මහතා ක්‍රියාකරන බවත් අරගලයක් හේතුවෙන් විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 සිට වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම නිසා ධම්මික දසනායක මහතාට පාර්ලිමේන්තු මහ ලේකම්ධුරයෙන් විශ්‍රාම යෑමට සිදු වු බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (25) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා විශ්‍රාම යෑ‍ම වෙනුවෙන් ඒ මහතාගේ සේවය ඇගයීම සඳහා පැවති විවාදයට එක්වෙමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
අරගලය තුළින් මතු වු යෝජනාවක් හේතුවෙන් විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩුකිරීමට වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කළ බවත් මීට පෙර ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් එම වයස් සීමාව අවුරුදු 60 සිට අවුරුදු 65 දක්වා වැඩි කිරීමට කටයුතු කර තිබුණු බවත් නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
“ගරු කථානායකතුමනි, ඉතාම වැදගත් ඒ වගේම අපෙන් විය යුතු යුතුකමක් ඉෂ්ට වෙන දවසක් හැටියට තමයි අද දවස මා දකින්නේ. හේතුව, මේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් -අවුරුදු 30කට ආසන්න කාලයක්- සේවය කරලා විශ්‍රාම යන අපේ ධම්මික දසනායක මැතිතුමාට සුබ පැතුම් එක් කරන්න අවස්ථාව ලැබීම මගේ ජීවිතයේ ඉතාම භාග්‍යයක් ලෙස දකිනවා; එතුමා විශ්‍රාම යාම නිසා නොවෙයි, එතුමා වෙනුවෙන් යුතුකමක් ඉෂ්ට කරන්න අවස්ථාව ලැබිච්ච එක භාග්‍යයක්කොට සලකනවා. හේතුව, ගරු කථානායකතුමනි, මම නවකයෙක් හැටියට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තනතුරේ සේවය කරන්න ලැබුණාම, ඒ සේවය කරන වෙලාවේ අපට අභියෝග රැසක් තිබුණා. මොකද, මේ පාර්ලිමේන්තුව ගත්තොත්, මුළු ලංකාවේම ඉන්න මහජන නියෝජිතයෝ එකතු වෙච්ච තැනක්. ඒ මහජන නියෝජිතයෝ විවිධයි. ඒ වගේම රටේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙච්ච කණ්ඩායමක්.
ඒ වාගේම, ඒ අයගේ හැසිරීම් විවිධාකාරයි. ලංකාව පුරා විසිරී සිටින නීතිය පැත්තෙනුත්, අනෙක් දේවල්වලිනුත්, හැම අතින්ම සන්නද්ධ වෙච්ච පිරිසක් තමයි මේ ස්ථානයේ ඉන්නේ. ඒ අය ඔක්කෝම එකතුවෙලා අදහස් හුවමාරු කර ගන්නා තැන මේ පාර්ලිමේන්තුවයි. ඒ අදහස් අතරේ විවිධ ගැටීම්, හැල හැප්පීම් අනන්ත අප්‍රමාණ සිද්ධ වෙනවා. දැන් බැලුවාම නම් අපේ පාර්ලිමේන්තුවේ ඉතාමත් නිහඬයි. හැබැයි, මේ පාර්ලිමේන්තුව සමහර වෙලාවට ඇවිළෙනකොට මහා ගිනි ගොඩක් වාගෙයි. එවැනි අවස්ථාවක මූලාසනයේ වැඩ කරනකොට හිතට, ගතට දැනෙන දේ අපට කියන්න පුළුවන්කමක් නැහැ. හැබැයි, එවැනි අවස්ථාවකදී අපට පොඩි හයියක් තිබෙනවා. ඒ හයිය තමයි, මහ ලේකම්තුමාත්, නියෝජ්‍ය මහ ලේකම්තුමියත්, සහකාර මහ ලේකම්තුමාත් මූලාසනයට යටින් තිබෙන ආසනවල ඉඳගෙන අපට ලබාදෙන ශක්තිය. ඒක හරියට අපට ඉඩෝරයට එන වැහි පොදක් වාගෙයි. අපට ඒක හරිම සිසිලයි. මේ පාර්ලිමේන්තුව ගැන දැනුම, අත්දැකීම් සියල්ලම තිබෙන කෙනෙකුගේ රැකවරණය අපට ලැබෙනකොට මූලාසනයේ වැඩ කරන්න හරිම ලේසියි. එවැනි අවස්ථාවක වැඩ කරන්න අපි භය නැහැ.
එවැනි අවස්ථාවක මේ පාර්ලිමේන්තුවේ අනෙක් මන්ත්රීවරු 223දෙනාම කොච්චර දැඟලුවත් අපට ඒ දැඟලිල්ල මෙල්ල කරන්න පුළුවන්. අපට ඒ හයිය ලැබෙන්නේ මහ ලේකම්තුමාත්, නියෝජ්‍ය මහ ලේකම්තුමියත්, සහකාර මහ ලේකම්තුමාත් ලබාදෙන සහයෝගය නිසයි. මම අත්දැකීමෙන්ම මේ කාල පරිච්ඡේදය තුළ ඒක අත්විඳලා තිබෙනවා. ඇත්තටම අපේ හිටපු මහ ලේකම්තුමා මට පැහැදිලිවම ගුරුවරයකු හා සමානයි. මම මේ පාර්ලිමේන්තුවට එනකොට අපි දැනගෙන ආපු දේවල් ඉතාමත් සීමිතයි. ඒ කාලයේ මේ පාර්ලිමේන්තුව ගැන අපි දන්නා දේවල් බොහෝ අඩුයි. හැබැයි, පාර්ලිමේන්තුවට ආවාට පස්සේ අපට ලැබුණු දැනුම, පාර්ලිමේන්තුවේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපට දැනගන්න ලැබිච්ච දේවල් අනන්තයි, අප්‍රමාණයි.

මේ පාර්ලිමේන්තුව ගැන හොඳට අධ්‍යයනය කරපු, ඒ සම්බන්ධයෙන් හසළ අත්දැකීම් තිබෙන, මේ පාර්ලිමේන්තුවට ගෞරව කරන කෙනෙකුගෙන් ඒ දේවල් ඉගෙන ගන්න ලැබුණාම ඒක ඉතාමත් විශිෂ්ටයි.

මම හිතනවා, මම ඒ අත්දැකීම ලැබුවා කියලා. ඒ නිසා මටත් නවකයෙක් හැටියට මේ කටයුතු කරන්න ලැබුණාම ඉතාමත් ඉහළින් ඒ කටයුතු කරන්න මට හයියක් හැටියට ඔබතුමාගේ සේවය ඒ ලබාදීපු දැනුම ඉතාමත් ඉහළින් තිබුණා කියලා මම මේ මොහොතේ ඔබතුමාට සඳහන් කරන්න කැමැතියි. මම ඔබතුමාත් එක්ක නිතර කථා කරනවා. සමහර වෙලාවට එන්න තිබෙන දේවල්, වෙන්න තිබෙන දේවල් බොහෝ දේවල් කථා කරනවා. ඒ දේවල් කථා කරලා අපි සන්නද්ධවෙලා ගොඩක් වෙලාවට එනවා. ඒ නිසාම ඒ කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වාගේම තමයි, අපේ මහ ලේකම්තුමා මම දන්න මේ පාර්ලිමේන්තුවේ සේවය කරන්නේ බොහොම ගෞරවාන්විතවයි. ඒ වාගේම තමයි, සමස්ත රටේම මේ රටේ තිබෙන උත්තරීතරම තැන මෙතැනයි. ඒ නිසා සමහර වෙලාවට වෙන තැන්වල තිබෙන දේවල් නැති වෙන්න පුළුවන්. හැබැයි, මේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විධියට වැඩ කරනවා කියන්නේ ජීවිතය ඔබ ලබපු ඉතාමත් වාසනාවන්තයි. ඒ වාගේම තමයි, පෙර ආත්මයේ කරන ලද පින්වල මහිමයෙන් තමයි මේ මහ ලේකම් ධුරයේ වැඩ කරන්න හම්බ වුණේ. මම එය විශ්වාස කරන්නේ, දැන් රටේ ඕනෑ තරම් ආයතන තිබෙනවා. ඒ ආයතනවලට ගියාම සමහර වෙලාවට උසාවියට ගියත් උසාවි ඕනෑ තරම් තිබෙනවා. මහාධිකරණ තිබෙනවා. දිසා අධිකරණ තිබෙනවා. ගොඩාක් දේවල් තිබෙනවා. හැබැයි, ලංකාවේ තිබෙන්නේ ාපර්ලිමේන්තු එකයි. ඒ නිසා තමයි මේක උත්තරීතර වෙන්නේ. රටේ පොදු මහජනතාව වෙනුවෙන් තීන්දු ගන්නා තැන. ඒ නිසා මෙතැන සේවය කරන්න ලැබීමත් පෙර ආත්මයේ කරන ලද පින්වල මහිමය තමයි මා විශ්වාස කරන්නේ හිටපු මහ ලේකම්තුමනි මෙතැන සේවය කරන්න ලැබීම. එ් නිසා ඔබතුමා පෙර ආත්මයේ බොහෝ පින් කරපු නිසා අවුරුදු 29ක් වැනි දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ සේවය කරන්න ඔබතුමාට අවස්ථාව ලැබුණා.

ඒ නිසා මේ රටේ මේ අවුරුදු 29 තුළ මේ රටේ හදපු නීති, ඒ හැම එකකටම මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු හැම දේකටම ඔබතුමා දායකවෙලා තිබෙනවා. ඒ දායකවීම නිසා රටේ ඔය අද කථා කරන පාර්ලිමේන්තුවට ගරහන අවුරුදු 70 ගණනක් තිස්සේ කිසි දෙයක් නොකළා කියලා මහා චෝදනාවන් එකතු කරන එ් අයට දෙන්න තිබෙන පණිවුඩය තමයි මේ 29 අවුරුද්දක් තුළ ඔබතුමා කරන සේවය වාගේම මේ පාර්ලිමේන්තුව තුළ මොන තරම් නීති සම්මත කරලා තිබෙනවා ද? මොන තරම් සමාජයට, රටට මේ නීතිගරුක වෙන්න, මේ සමාජය ගොඩක් දේවල් කරන්න මේ පාර්ලිමේන්තුවේ ඕනෑ තරම් තීන්දු අරගෙන තිබෙනවා. ඉතාමත් ඉහළම තීන්දු. ඒ හැම එකකටම ඔබතුමාට දායක වෙන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. මේවා වෙන කොහේවත් ගිහිල්ලා දායක වෙන්න බැහැ. මෙතැනම වැඩ කරන්න වෙනවා. ඒ නිසා තමයි මේ තිබෙන උත්තරීතරභාවය රැඳිලා තිබෙන්නේ. එම නිසා මම විශ්වාස කරනවා, අපේ මහ ලේකම්තුමා ඒ කාර්ය භාරය ඉතාමත් ඉහළින් කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ඔබේ ජීවිත කාලය තුළ අපි දන්නවා මහා අරගල, විවිධ හැළහැප්පීම් ගොඩාක් ආපු කාලපරිච්ඡේදයක ඔබතුමාට වැඩ කරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා.

දින 52ක ආණ්ඩුව ගැන අපි අහලා තිබෙනවා. දෝෂාභියෝගය ගැන අපි අහලා තිබෙනවා. ඊට පස්සේ කවදාවත් නැති කොරෝනා වසංගතයක් ආවා. මුඛවාඩම් බැඳ ගෙන එකිනෙකා හඳුනා ගන්න බැරි මට්ටමක හිටියත් අපි වෙලාවට වැඩ කරන්න ඕනෑ; පාර්ලිමේන්තුව රැස් වෙන්න‍ ඕනෑ. අපේ හිටපු කථානායකතුමා චමල් රාජපක්ෂ මැතිතුමා කිව්වා වාගේ ටැක්ටරයෙන් හරි ඇවිල්ලා, හෙලිකොප්ටරයෙන් හරි ඇවිල්ලා, පන්දම් හරි පත්තු කරගෙන ඇවිල්ලා අපි මේ වැඩේ කරන්න ඕනෑ. ඔබතුමා ඒ අභියෝගය භාරගෙන කටයුතු කළා. කො‍රෝනා වසංගතය ආවාම ලෝකයේ විවිධ රටවල් සංවිධානය වුණා‍. අපිත් සංවිධානය වුණා. මේ පාර්ලිමේන්තුවේ හැම දෙයක්ම අකුරක් නෑර අඩුවක් නොවී ඒ හැම දෙයක්ම කරන්න ඔබතුමා විශාල උත්සාහයක් ගත්තා. ඒ පරිපාලන වශයෙන් ගන්නා තීන්දු අපි දන්නවා ඉතා අභියෝගාත්මක බව. සමහර දේවල් අපට තනියෙන් කරන්න පුළුවන්කමක් නැහැ. මේ හැමෝගේම සහයෝගය ගන්න ඕනෑ.‍ ඒ සහයෝගය ගන්නත් ඒ හැම කෙනාගේම විශ්වාසසය දිනා ගත්තු කෙනෙකු බවට පත් වෙන්න ඕනෑ. ඔබතුමා ඒ විශ්වාසය දිනාගෙන කටයුතු කළා. ඒක නිසා පුළුවන්කම ලැබුණා, ඒ සියලු අභියෝගයන්ට මුහුණ දෙන්න.

කොරෝනා වසංගතය ආවාම අපි දැක්කා සමහර වෙලාවට පහළ තිබෙන අපේ කමිටුවල එහෙම නැත්නම් Committee on Parliamentary Business එකේ සමහර වෙලාවට පක්ෂ නායකයන් එකතු වෙලා තීන්දු ගන්නවා. සමහර වෙලාවට ඒවා ඉතා අසීරු තීන්දු. මට මතකයි පසුගිය දවසක IMF ගිවිසුම සම්බන්ධයෙන් වූ විවාදයේදී එය භාෂා තුනෙන් පරිවර්තනය ඉල්ලුවා. දැන් අපි හිතාගෙන ඉන්නවා, “නැහැ ඕනෑ නැහැ. කෙටි සාරාංශය විතරක් දුන්නාම ඇති” කියලා. සමහර වෙලාවට අපි කියන දේ අපේ පක්ෂ නායකයෝ පිළිගන්නේ නැහැ. ඒ වාගේ ජාත්‍යන්තර ගිවිසුමක් සිංහලට පරිවර්තනය කරන කොට එහි භාෂා වෙනස පිළිබඳව ඒ අදාළ ආයතනයත් එක්ක කථා කරලා කටයුතු කරන්න ඕනෑ. ඒක කරන්න හරි අමාරු දෙයක්. හැබැයි, ඊළඟ පාර්ලිමේන්තු දවසට භාෂා තුනෙන්ම ඒක දෙන්න ඕනෑ. ඒක නීත්‍යනුකූල ලියවිල්ලක් වෙන්න ඕනෑ. සමහර විට අද රටේ පත්තර නැහැ. කඩදාසි කොළ නැහැ. එවැනි විවිධ ප්‍රශ්න තිබෙනවා. අපි මේ පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කරන්නේ විශාල අභියෝගයක් භාරගෙනයි. හැබැයි, ඔබතුමාට ඒ සියලු දේ කළමනාකරණය කරගෙන ඒ සියලු දෙනාගේ සහයෝගයෙන් ඒ කටයුතු කරන්න පුළුවන් අවස්ථාව ලැබුණා. ඒ අභියෝගවලට මුහුණ දෙන්නට ඔබතුමාට අවස්ථාව ලැබුණා.

මේ පාර්ලිමේන්තු කාර්යභාරය කිසි අඩුවක් නොවෙන්න, ඒ කටයුතු කරන්න අවස්ථාව ඔබතුමාට ලැබුණා. ඔබතුමාගේ පාලන කාලය තුළ දින 52, දෝෂාභියෝගය ඒ වාගේම ජනාධිපතිවරයෙකුත් පාර්ලිමේන්තුවෙන් පත් කර ගන්න ඡන්දයකට නායකත්වය දෙන්න ඔබතුමාට පුළුවන්කම ලැබුණා. ඒ වාගේම මමත් නියෝජ්‍ය කථානායක වෙනකොට මම හිතන්නේ අවුරුදු දෙකට තුන්වරක් නියෝජ්‍ය කථානායක ඡන්දයෙන් පත් වුණා. ඒකට ඔබතුමාට දායක වෙන්න ලැබුණා. මමත් ඒකට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා.

ඒ වාගේ මහා අභියෝගාත්මක හැම විටම මම හිතන්නේ වැඩ කරපු මහලේකම්වරු හයදෙනාගෙන් ඔබතුමාගේ කාලයේ තමයි සිදු වීම් ගත්තොත් බරපතළ ක්‍රියාවලියන් ගත්තොත් ගොඩාක් දේවල් සිදු වුණු කාලපරිච්ඡේදය මේ යැයි කියලා මා විශ්වාස කරනවා. ඔබතුමාගේ කාලපරිච්ඡේදය යැයි කියලා. ඒ ලැබුණු අත්දැකීම් මම හිතන්නේ අනාගත අපේ පාර්ලිමේන්තු දිවියට මහා ආභරණයක් වේවි. ඒ කියන්නේ ඔබතුමා එච්චර වටිනවා අපට. ඔබතුමා ගෙදර හිටියාට අර අවුරුදු සියයක් පැරණි ගෘහ භාණ්ඩ වාගේ එච්චර පරණ වෙන්න පරණ වෙන්න වටිනවා සමහර දේවල්. ඒ වාගේම ඔබතුමා ජීවිතය කාලය තුළ ගොඩනඟා ගත්තු අත්දැකීම් මේවා ඔක්කෝම රැඳිලා තිබෙනවා මේ ඔළු ගෙඩි ඇතුළේ. ඔබතුමාට තව අවුරුදු ගණනක් යන කල් මේ රටේ මේ පාර්ලිමේන්තුවට ඒ සේවාවන් ලබා දෙන්න පුළුවන්. මා විශ්වාස කරනවා ඔබතුමා ඉතා බොහොම කැපවීමෙන්, උනන්දුවෙන් ඒ කටයුතු කරනවා කියලා. දැන් මම අහලා තිබෙනවා, අතීතයේ ඍෂිවරයෝ කියලා තිබෙනවා ජීවිතය කොටස් කරලා තිබෙනවා හතර විධියකට. ඒ කියන්නේ විශ්‍රාම වයස. හතර විධියකට හදලා තිබෙනවා. එකක් තමයි දින දර්ශන අනුව වයස. දැන් ඔබතුමාට ඒක හරියට හරි. ඉපදුණු දවසේ ඉඳලා අද වෙනකල් බැලුවා වයස අවුරුදු 60යි. මේ මාසයේ 23වැනි දා උපන් දිනය තිබුණේ. ඔබතුමාගේ උපන් දිනය වන විට වයස අවුරුදු 60යි. එදාට විශ්‍රාම යන්නම ඕනෑ. දැන් ගියා. ඒක සාමාන්‍යය ක්‍රියාවලිය.

නමුත් ඔබ විශ්‍රාම ගියාට කායික වශයෙන් බැලුවාම කිසිම දුර්වලකමක් පෙනෙන්නේ නැහැ. මම නම් දැකලා නැහැ කොන්ඩයවත් දවසක් නිකම් අවුල් වෙලා තිබෙනවා. අපේ චමල් රාජපක්ෂ මැතිතුමා වාගේ හොඳට පීරලා හරියට තියාගෙන ඉන්නවා. ඒක නිසා කායික වශයෙන් කිසිම වයසට ගිය බවක් පෙනෙන්නේ නැහැ. මානසික වශයෙනුත් ඒ වාගේමයි.

හැබැයි, සමහර අය ඉන්නවා විශ්‍රාම යන කාලය එනකොට මානසික වශයෙන් නිකම්ම වයසට ගිහිල්ලා. මානසික වශයෙන් උපරිම වයසට ගිහිල්ලා හරිම දුර්වල වනවා. ඔබතුමාව බැලුවාම එහෙම පේන්නෙත් නැහැ. එහෙම කිසිම දෙයක් පේන්නේ නැහැ. බොහොම සරලව ඉන්න කෙනෙක්. හිනාවෙලා ඉන්න කෙනෙක්.

ඊළඟට, සමාජයීය වශයෙන්. මේ රටේ සමාජයට කරන්න තිබෙන යුතුකම්. අවුරුදු 60 වෙලත් දශමයක්වත් කරලා නැහැ සමහරු. තමන්ටම තමයි කරගෙන තිබෙන්නේ. රටට, සමාජයට කිසි දෙයක් කරලා නැහැ. හැබැයි ඔබතුමා මේ රටට, ජාතියට විශාල සේවාවක් කරපු කෙනෙක්. ඔබතුමා pension යන්න ඕනෑ කෙනෙක් නොවෙයි. මේ කියන කාරණා ඔක්කෝම ඔබතුමා ළඟ තිබෙනවා. වයස පේන්නෙත් නැහැ. කායිකවත් පේන්නේ නැහ, මානසිකවත් පේන්නේ නැහැ. කිසි දෙයකින් පේන්නේ නැහැ. හැබැයි, එකම දේ තමයි සමහර වෙලාවට මේ රටේ අරගළය තිබුණේ නැත්නම් ඔබතුමා තවමත් අපේ මහ ලේකම්. අරගළය නිසා තමයි අවුරුදු 65 දක්වා තිබුණු විශ්‍රාම යාමේ වයස, අවුරුදු 60 දක්වා අඩු වුණේ. අද මේ රටේ ගොඩක් අය pension ගියේ අවුරුදු 60න්. අරගලය නිසා ආපු එක, අරගළයේ එක පැති කඩක් හැටියට දැනගෙන වර්තමාන ජනාධිපතිතුමා ඒක වෙනස් කරලා අපේ කලින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්ත තීන්දුව වෙනස් කරලා, දැන් අලුත් ක්‍රියාවලියකට ගියාම මේ වෙනස ඇති වුණා.

එහෙම නොවුණා නම්, සමහර වෙලාවට මේ පාර්ලිමේන්තුවේ නිල කාලයත් අවසන් කරලා, ඊළඟ පාර්ලිමේන්තුවේ නිල කාලයේත් ඔබතුමාට සේවය ලබා දෙන්න පුළුවන්කම තිබුණා. කෙසේ නමුත්, මේ නව නීතියත් එක්ක ඔබතුමාට විශ්‍රාම යන්න අවස්ථාව ලැබුණා. මා විශ්වාස කරනවා, ඔබතුමා මේ පාර්ලිමේන්තුවට ගෞරවයක් තිබෙන කෙනෙක් නිසා අපට ඔබතුමාගේ සේවය ඉතා වටිනවා. ඒ වාගේම ඉදිරි කාලයේත්, ඔබතුමා විශ්‍රාම ගියත් මේ පාර්ලිමේන්තුවේ ඒ සේවාව ලබා දෙන්න. ඒ වාගේම ඔබේ විශ්‍රාම ජීවිතය ඉතාම සාර්ථකව ඔබතුමා බලාපොරොත්තු වන විධියටම ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. ඒ වාගේම ඔබතුමාගේ මැතිනියට, දරුවන්ට ඒ සියලුදෙනාටම අපි මේ වෙලාවේ ස්තුතිවන්ත වනවා. ඔබතුමා වාගේ මහ ලේකම්වරයෙක්ගේ සෙවන- අපි දන්නවා ඔබතුමාගේ බිරිඳ ඉතාමත් ඉහළින් ඔබතුමාට ලොකු සහයෝගයක් දීපු කෙනෙක්. අපි දන්නවා, නිතර දෙවෙලේ අපිත් එක්ක සාකච්ඡා කරලා, හැම දේකදීම ඒ ශක්තිය දීපු කෙනෙක්. එතුමියත් ඔබතුමාත් එක්ක යනවා මේ ගමන. ඒ නිසා එතුමිය ඇතුළු දරුවන්ට, සියලුදෙනාට මගේ සුබ පැතුම් එක් කරමින් මා නිහඬ වනවා.
බොහොම ස්තුතියි.” යනුවෙන් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම ප්‍රවෘත්ති නිවේදනය සඳහා ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු (0779964443)
ගරු නියෝජ්‍ය කථානායකතුමාගේ මාධ්‍ය ලේකම්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img