‘‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීමට නොහැකි වුවහොත් අධිකරණයට යනවා‘‘ – ජේ. සී. අලවතුවල
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීමට නොහැකි වුවහොත් එම පනතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පැවැසීය.
සමාජ මාධ්‍ය මර්දනයට එරෙහිව ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට විරුද්ධව රටේ ජනතාව එකතු විය යුතු බවත් ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ඊට උපරිම සහයෝගය ලබා දෙන බවත් මන්ත්‍රීවරයා හෙතෙම සඳහන් කළේය.
විදුලි බිල / ජල බිල / ඉන්ධන මිල වැඩීවීම පිළිබඳ පීඩනය ජනතාව කෙටි කාලයක් දරාගෙන සිටියත්
ඒ නිහඩ තාවය ඉතාම භයානක බවත් ආණ්ඩුව ජනතාවට දිගින් දිගටම පීඩාවට පත් කරනවානම් ජනතාවගේ ඒ නිහඩ තාවය වැඩි කාලයක් තිබෙන්නේ නැති බවත් අලවතුවල මහතා පැවැසීය.
ජේ. සී. අලවතුවල මහතා මේ බව සඳහන් කළේ අද (03) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජේ. සී. අලවතුවල මහතා මෙසේ පැවැසීය.
‘‘රටේ ජනතාවට මේ වනවිට නොයෙකුත් ආකාරයේ පීඩාවන්ට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ජනතාව තුළින් ඒ පීඩනය මතුවීම වැළැක්වීමට ඒවා මර්දනය කරන්න නීති ගේන්න ආණ්ඩුව උත්සහ කරනවා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ ගැසට් පත්‍රය මගින් රජය සූදානම් වෙන්නේ සමාජ මාධ්‍ය නියාමනය කරන්න. ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදය තුළ රටේ ජනතාවට කතා කරන්න , අදහස් ප්‍රකාශ කරන්න තිබෙන නිදහසට යම් යම් තහංචි දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා.
පසුගිය දවස් වල ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය සෞඛ්‍ය ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනවා. නමුත් පාර්ලිමේන්තුවේදී එම යෝජනාව පරාජයට පත් කළා. ආණ්ඩුවේ ඉන්න පිරිස තමන්ගේ බලය/ කණ්ඩායම රැක ගන්න ඕනෑම දෙයක් සිදුකරනවා.
දැන් ගෙනල්ලා තියෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ භායනක තත්ත්වයක් තිබෙනවා. ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය මෙම පනත පාර්ලිමේන්තුවට ගෙනාවට පස්සේ ඊට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා.
මේ පනතේ තිබෙන මර්දනකාරී රෙගුලාසි සියල්ලට අපි විරුද්ධයි. ප්‍රධාන විපක්ෂය ලෙස පාර්ලිමේන්තු තුළත් ඉන් පිටතදීත් මේ පනත පරාජය කරන්න සියලු ක්‍රියාමාර්ග ගන්නවා.
සමාජ මාධ්‍ය මර්දනයට එරෙහිව ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට විරුද්ධව රටේ ජනතාව එකතු විය යුතුයි. ප්‍රධාන විපක්ෂය ලෙස අපි ඊට උපරිම සහයෝගය ලබා දෙනවා.
පසුගිය ආණ්ඩුවල දේශපාලනික වශයෙන් රටේ ජනතාව මර්දනය කරන්න ත්‍රස්ත විරෝධී පනත භාවිතා කළා. ආණ්ඩුවට හිරි හැර වන පුද්ගලයන් දේශපාලනිකව මර්දනය කරන්න මේ ත්‍රස්ත විරෝධී පනත භාවිතා කළා. ආණ්ඩුව ජනතා නැගිටීම් වළක්වන්න මේ පනත් භාවිතා කරන්න ආණ්ඩුව ලැස්ති වෙලා තියෙනවා.
මේ පනත් සියල්ල පරාජය කරන්න පාර්ලිමේන්තුව තුළ උපරිම උත්සාහයක් ගන්නවා. එතනින් බැරිවුනොත් අපි අධිකරණ ක්‍රියාමාර්ග වලට යනවා. මේ පනත් පරාජය කරන්න රටේ ජනතාව සමඟ එකතු වෙලා කටයුතු කරනවා.
අලුත් ඉන්ධන සමාගම් එන කොට ආණ්ඩුව කිව්වා තරගකාරී ලෙස ඉන්ධන මිලේ වෙනසක් ඇති කරලා ඒ තුළින් එන ලාභය පාරිභෝගිකයාට ලබා දෙනවා කියලා.
ඇමැතිවරයා කියනවා ඛණිජ තෙල් සංස්ථාව ලාභ ලබනවා කියලා. එවැනි තත්ත්වයක් උඩ තුන්වේල බඩගින්නේ ඉන්න ජනතාව පිටම බර පටවන්නේ ඇයි. හැම මාසෙකම පළමු වැනිදා ඉන්ධන මිල වැඩි කරලා ජනතාවට විශාල පීඩනයක් එල්ල කරලා තියෙනවා.
ආණ්ඩුව ජනතාව ජීවත් කරන වැඩපිළිවෙලකට ආ යුතුයි මේ අකාරයට ජනතාව පීඩාකාරී තත්ත්වයකට පත් කිරීමෙන් ආණ්ඩුව වැළකි සිටිය යුතුයි.
මේ ප්‍රශ්න වලට හඩ නඟන ජනතාව මර්දනය කරන්න තමයි ආණ්ඩුව සමාජ මාධ්‍ය නියාමන පනත , ප්‍රති ත්‍රස්ත පනත වගේ පනත් ගේන්න උත්සහ කරන්නේ.
විදුලි බිල වැඩි කරන්න ඕන කියලා ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා තියෙනවා. මේක කොතරම් අසාධාරණ ක්‍රියාවක්ද? රට තිබෙන බංකොලොත්භාවය එක්ක රටේ මිනිස්සුන්ට තමගේ දරුවන්ට හරියාකාරව කෑම වේලක් දෙන්න බැරි වෙලා තියෙනවා. රටේ සියයට 70 ක් විතර ජීවත් වෙන්නේ අසීරු තත්ත්වයක. මේ ආකාරයට බිල් වැඩි කළොත් රටේ ජනතාව තවත් පීඩාකාරී තත්ත්වයකට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් ඇවිත් තියෙනවා. ආණ්ඩුව ඉතාම අඩු බදු ආදායමක් එකතු කර තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙනවා. මේ ක්‍රමය තුළ ජනතාව විදින පීඩාකාරී ස්වභාවය තව තවත් ඉහළ යනවා. ආණ්ඩුවේ බදු ආදායම වැඩි කර ගන්න සාමාන්‍ය ජනතාවට බදු පිට බදු ගහලා ගෙන යන ක්‍රියාවලිය අසාධාරණ ක්‍රියාවලියක්.
======================================
ප්රශ්නය – ඉන්ධන මිල ගැන ජනතාවගේ පැත්තෙන් කිසිම සද්ධයක් නෑ නේ
පිළිතුර – ජනතාවට කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. ප්‍රධාන විපක්ෂය ලෙස අපි මේ දෙවල් ගැන කතාකරනවා සහ ඒ ගැන වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. ජනතාව මේ පීඩාකාරී තත්ත්වය යම් තාක් දුරකට විදගෙන ඉදියි. මේ නිහඩ තාවය ඉතාම භයානකයි. ආණ්ඩුව ජනතාවට දිගින් දිගටම ජනතාව පීඩාවට පත් කරනවානම් ජනතාවගේ මේ නිහඩ තාවය වැඩි කාලයක් තියෙන්නේ නෑ.
ප්රශ්නය – මහින්දානන්ද මන්ත්‍රීවරයා කියනවා රටේ උද්ධමනය අඩුවෙලා කියලා
පිළිතුර – රාජපක්ෂ පාලනය තුළ රට බංකොලොත් වුණාම රටේ ජනතාව අමාරු තැනකට ජනතාව පත්වුණා. රැකියා විශාල ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා. කර්මාන්ත ගණනාවක් කඩා වැටිලා තියෙනවා. ඉදිකිරිම් ක්ශ්‍රේත්‍රයේ විශාල දෙනෙකුට රැකියා අහිමිවෙලා තියෙනවා. කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්ත විශාල ප්‍රමාණයක් කඩා වැටිමෙන් හිතා ගන්න පුලුන්නේ රටේ කොච්චර ජනතාවකගේ ආර්ථිකය කඩා වැටිලද කියලා. එවැනි තත්ත්යක් තුළ ආණ්ඩුව ජනතාව පිට තවත් බර පටවනවා. ආණ්ඩුව කියනවනම් උද්ධමනය අඩුවෙලා ජනතාව සතුටින් ඉන්නවා කියලා ඒක විශ්වාස කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ජනතාව අද තමන්ගේ සියලු සම්පත් උකස් කරලා ඉවරයි. විදුලි බිල /ජල බිල /ඉන්ධන මිලේ බර ජනතාවට තව තවත් පැටවුවොත් කොයි මොහොතක හරි ඒ ජනතා පීඩනය පුපුපරා යන්න පුලුවන්.
ප්රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලංකාවට ලබාදීම ප්‍රමාද කරලා තියෙනවා. ඒ සිදුවීමට ත්‍රස්ත විරෝධී පනත සහ සමාජ මාධ්‍ය නියාමන පනත් බලපායිද
පිලිතුර – ප්රජාතන්ත්රවාදී රටක ජනතාවගේ අයිතීන් විවිධ පනත් හරහා මර්දනය කරන්න ආණ්ඩුව උත්සහ කරනවානම් එ් කාරණයත් බලපාන්න පුලුවන්.






















