“ආඩම්බරයෙන් පදින්න” යන තේමාව මුලික කොටගෙන ගාලු කොටුවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනු වස් පාපැදියෙන් ගොස් කොටුව නැරඹීම, ව්‍යායාම් කිරීම ආදී කටයුතු සදහා පාපැදි යොදා ගැනීම වෙනුවෙන් ගාලු කොටුවේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා යුධ හමුදා කඳවුරේ ආපන ශාලාව අසල පාපැදි කුලියට ලබා දීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කළ අතර, ඒ වෙනුවෙන් සංවිධානය කළ කෙටි පාපැදි ධාවන තරගය ආරම්භ කිරීම 2023-12-01 දින පස්වරුවේ දකුණු පළාත් ගරු ආණ්ඩුකාර ආචාර්ය විලී. ඩබ්ලිව් ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.මෙම කෙටි පාපැදි ධාවන තරගය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 61 වන පාබල සේනාංකයේ ඉහළ නිලධාරීන් සහභාගී වූ අතර, පාපැදි ලබා දීමේ මධ්‍යස්ථානය ගාලු කොටුවේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා යුධ හමුදා කඳවුරේ ආපනශාලාව අසල ස්ථාපිත කොට ඇත. ශ්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ අධීක්ෂණය මත උදෑසන 06.00 සිට පස්වරු 18.00 දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙහිදී පාපැදියක් විදේශීය සංචාරකයන් සඳහා පැයකට රුපියල් 350/=ක් වැනි මුදලකටත්, දේශීය සංචාරකයෙකුගෙන් පැයට රුපියල් 250/= ක් වැනි මුදලකටත් පාපැදි ලබා දීම සිදු කරනු ලැබේ. පාපැදිය යම් දෝශයකට ලක් වුවහොත් ඒ පිළිබඳව දැනූවත් කිරීම සදහා දුරකථන අංකයක්, ගාලු කොටුවේ සිතියම පාපැදියේ සදහන් Q ආර් කේතයක් මගින් ලබා ගැනීමට ද පහසුකම් ද සලසා ඇත. ඔබත් පාපැදියක් වෙන් කර ගෙන කොටුවේ සුන්දරත්වය විදින්න පහත දුරකථන අංකයට 0742757370 ට ඇමතුමක් දෙන්න.මෙම අවස්ථාව සඳහා 61 වන පාබල සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් ජනක රණසිංහ මහතා, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොශාන් විජේසිංහ මහතා, කර්නල් සංජීව ගුණවර්ධන මහතා, කර්නල් උශාන් ගුණවර්ධන මහතා, කර්නල් අජන්ත මෙන්ඩිස් මහතා, 61 වන පාබල සේනාංකයේ සිවිල් සමාජ සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් එරික් සොයිසා මහතා, ගාල්ල කොටුව කඳවුරේ ගැමුණු හේවා බල ඇණියේ අණදෙන නිලධාරී මේජර් ලක්මාල් ද සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන්, විදේශීය සංචාරකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.






















