Friday, August 28, 2026
HomeNEWSඅතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් ...

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් -ජනපති.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ශුද්ධ වූ පූජකවරයේ ස්වර්ණ ජයන්ති උපහාර උලෙළ ජනපති සහභාගිත්වයෙන් පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැටුව ඒමේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් -ජනපති පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොළඹ අගරදගුරු පදවිය විසින් ඊයේ (07) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ සංවිධානය කරන ලද උපහාර උත්සවය අමතමිනි. සමාජයේ යහපැවැත්ම සහ අධ්‍යාත්මය ගොඩනැඟීමට වෙහෙසකර ව්‍යායාමයක නිරත වන උන්වහන්සේ, විශාල මෙහෙයක් ඉටු කරන රාජ්‍යතාන්ත්‍රිකයකු, බයිබලය ඉතා හොඳින් විවරණය කරමින් කරුණු ඉදිරිපත් කළ හැකි ධර්ම ගවේෂකයකු, සමාජය අවදි කළ හැකි ශක්තිමත් පෞරුෂයක් හිමි කථිකයකු වන අතරම, එම භූමිකාවලින්ද ඔබ්බට ගිය සැබෑ මානව හිතවාදියකුද වන බව ජනාධිපතිවරයා පැවසීය.කාලයේ වැලිතලාවෙන් යටපත්වීමට ඉඩ නොතබා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. එය රජය, රජයේ ඇතුළාන්තයෙන් පරීක්ෂණයට භාජනය විය යුතු අභියෝගයක් බව පැවසු ජනාධිපතිවරයා කෙතරම් දුෂ්කර වුවද මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටුවිය යුතු බවද අවධාරණය කළේය.මෙහිදී, සභාව අමතමින් සිය 50 වසරක අත්දැකීම් සිහිපත් කළ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ වසර 75ක ඒකාධිපති වියරුව අවසන් කිරීමට ජනපතිවරයා සමත් වීම පිළිබඳව ඇගැයීමට ලක් කළහ. එසේම, මෙරට විවිධ ජාතීන් අතර වෛරය වැපිරූ දේශපාලන සංස්කෘතිය මුලිනුපුටා දැමීමට හැකිවීම පිළිබඳ ප්‍රසාදය පළ කළ උන්වහන්සේ සමෘද්ධිමත් දේශයක් කරා රට මෙහෙය වීමේදී නව ප්‍රවේශයක අවශ්‍යතාවද අවධාරණය කළහ. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් එළිදැක්වුණු සමරු මුද්දරය සහ මුල්දින කවරයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.1947 වර්ෂයේ කුරුණෑගල පොල්ගහවෙල ප්‍රදේශයේදී උපත ලද මැල්කම් රංජිත් හිමිපාණෝ, වර්ෂ 1975 ජූනි 29 වන දින ශුද්ධ වූ සය වන පාවුළු පාප් වහන්සේගේ සුරතින් වතිකානුවේ සාන්ත පීතර බැසිලිකාවේදී පූජක වරම් ලබා ගත්හ. අනතුරුව, වර්ෂ 1978 සිට මීසම් සහායක පියතුමකු, වැඩබලන මීසම් සේවක පියතුමකු, දේව ධර්මය පිළිබඳ කථිකාචාර්යවරයකු මෙන්ම, දේව ධර්ම නිකේතන මහාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇති උන් වහන්සේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, ස්පාඤ්ඤ සහ ඉන්දුනිසීයානු බස ආදී භාෂා රැසක ප්‍රවීණතාව ලබා සිටිති.1991 වර්ෂයේදී එවකට අගරදගුරුවරයා වූ අතිඋතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගේ මූලිකත්වයෙන් තේවත්තේ ලංකා අප ස්වාමිදුවගේ බැසිලිකාවේදී කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරුවරයකු ලෙස එතුමාගේ පදවි ප්‍රාප්ත වීම සිදු විය.අනතුරුව, වර්ෂ 2009 ජූනි මස 16 වන දින කොළඹ පදවියේ අගරදගුරුවරයා ලෙස පත් වූ මැල්කම් රංජිත් හිමිපාණෝ, එයින් වසරකට පසු, වර්ෂ 2010 නොවැම්බර් 20 දින ඉතාලියේ සාන්ත ලෝරන්ස් බැසිලිකාවේදී කාදිනල්වරයෙකු ලෙස පත්වීම් ලදහ. ඒ අනුව, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ශ්‍රී ලංකාවේ කාදිනල් තනතුර දැරීමේ ආශීර්වාදය ලත් දෙවන පියතුමා වෙති. උන් වහන්සේ ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේද තනතුරු රැසක් හෙබ වූ අතර, ජාත්‍යන්තර රැස්වීම් රැසක සභාපති ධුරයද දැරූහ.ජාත්‍යන්තර සම්මාන රැසකින්ද පිදුම් ලද එතුමාණෝ, ඇමරිකා එක්සත් ජනපදයේ තෝමස් ඇක්වයිනාස් විද්‍යාලයෙන් ආගමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ තෝමස් ඇක්වයිනාස් පදක්කමද, 2008 වසරේ සංස්කෘතික ක්ෂේත්‍රයේ ජයග්‍රහණ සඳහා ඉතාලි ජනරජයේ ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද, 7 වන Giuseppe Sciacca ජාත්‍යන්තර සම්මානයද ලබා ගත්හ. ලේඛකයකුද වන එතුමා සඟරා සහ පුවත්පත් සඳහාද ලිපි ගණනාවක් සම්පාදනය කර තිබේ. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ සහ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ මෙහිදී සුබපැතුම් එක් කළහ.ත්‍රෛනිකායික මහා සංඝරත්නය, සර්වාගමික පූජකවරුන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා, වතිකාන අපෝස්තලික මෙහෙයුම් ප්‍රධානී මොන්සිග්නෝර් රොබර්ටෝ ලුකිනි, කොළඹ සහායක රදගුරු මැක්ස්වෙල් සිල්වා, කොළඹ සහායක රදගුරු ඇන්තනී ජයකොඩි යන රදගුරුතුමන් ඇතුළු කතෝලික පියතුමන්ලා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මැතිඇමතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, තානාපතිවරුන් ඇතුළු ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජනාධිපති මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img