Thursday, July 30, 2026
HomeNEWSහිටපු ඇමති පාඨලීගේ නඩුව යළි කැඳවයි

හිටපු ඇමති පාඨලීගේ නඩුව යළි කැඳවයි

හිටපු ඇමති පාඨලීගේ රිය අනතුරු නඩුව යළි කැඳවයිහිටපු ඇමති පාඨලීගේ රිය අනතුරු නඩුව යළි කැඳවයි 2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේ දී බරපතළ රිය අනතුරක් සිදුකිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා ජනවාරි මස 20 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව ඊයේ (18) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුළි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතා අධිකරණයට දැනුම් දුන්නේ, මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බවය.එහිදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට විරුද්ධව සිය සේවාදායකයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ අභියාචනයක් එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුවට අදාළ ඉතා වැදගත් මඟ පෙන්වීම් කිහිපයක් සිදුකර තිබෙන බව සඳහන් කර සිටියේය.ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණවලට අනුව නීතිය බලාත්මක කරණ ආයතන නිසි සැලකිල්ල යොදවා නඩු තීන්දුවේ නිරීක්ෂණ කෙරෙහි අවධානය යොමු කර නිසි ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය බවට සඳහන් කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ තුළින් අදහස් වන්නේ නීතිපතිවරයා මෙම නඩුව යළි සලකා බැලිය යුතුයි යන කාරණය බවත් පෙන්වා දුන්නේය.මෙම නඩුවේ දෙවන විත්තිකරු වන හිටපු අමාත්‍යවරයාගේ රියැදුරු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා නමැති නිලධාරියා එම විත්තිකරුගේ බිරිඳ සහ වයස අවුරුදු දෙකක දරුවා පැහැරගෙන ගිය බවත් ඊට එරෙහිව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.එම මූලික අයිතිවාසිම් පෙත්සමේ තීන්දුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ක්‍රියාව තුළින් නෙවිල් සිල්වා නැමති නිලධාරියා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සියලු කරුණු සලකා බැලීමේදී මෙම නෙවිල් සිල්වා නමැති නිලධාරියා සාක්ෂි නිර්මාණය කළාද? යන බරපතළ සැකය මතුවන බවත් සඳහන් කර සිටියේය. ඒ අනුව මෙම සියලු කරුණු පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කිරීමට විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා කටයුතු කර ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම සියලු කරුණු පිළිබඳව යළි සලකා බලා නීතිපතිවරයා තීරණයක් ගන්නා තුරු මෙම නඩු විභාගය කල් තබන ලෙසත් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතා සඳහන් කළේ, මෙම නඩු විභාගයේ මේ වන විටත් වසර නවයකට වඩා ප්‍රමාද වී ඇති බවත් නඩු විභාගය කඩිනමින් ආරම්භ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද නියෝගයක් නිකුත් කර ඇති බවය.විත්තිය විසින් කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සලකා බලා තීන්දුවක් ගන්නා තුරු මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේය.මෙහිදී විනිසුරුවරයාද සඳහන් කළේ, නීතිපතිවරයා මෙම නඩුකරය සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගන්නා තුරු මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාව තිබෙන බවය. ඒ අනුව නඩුවේ හතරවන සාක්ෂිකරු වශයෙන් නම්කර සිටින මෙම රිය අනතුර හේතුවෙන් බරපතළ ආබාධිත තත්ත්වයකට පත්ව සිටින සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා රෝද පුටුවක් මාර්ගයෙන් සාක්ෂි දීම සඳහා සාක්ෂි කූඩුව වෙත රැගෙන එනු ලැබීය.එම අවස්ථාවේදී විත්තිකාර චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන මහතා විරෝධතාවක් මතුකරමින් මෙම සාක්ෂිකරුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බව පැවසුවේය. සාධාරණ නඩු විභායක් ලබා ගැනීමට නම් සාක්ෂිකරුවන් විසින් පොලීසියට සිදුකළ ප්‍රකාශ විත්තියට ලබාදිය යුතු යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙම සිද්ධිය සිදුවී වසර නවයකට ආසන්න කාලයක් ගත වී තිබුණත් මෙම සාක්ෂිකාර තරුණයාගේ ප්‍රකාශ තමන්ට පැමිණිල්ල විසින් ලබාදී නොමැති බව පැවසුවේය. සාක්ෂිකරුවකු පොලීසියට ලබා දුන් ප්‍රකාශ නොමැතිව ඔහුගෙන් හරස් ප්‍රශ්න අසන්නේ කෙසේදැයි අධිකරණය හමුවේ ප්‍රශ්න කර සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මෙම තත්ත්වය සාධාරණ නඩු විභාගය නමැති සංකල්පය බරපතළ ආකාරයෙන් උල්ලංඝනය වන බවත් පැවසුවේය. දේශපාලන අවශ්‍යතා මත එක් එක් පුද්ගලයින් කේන්ද්‍ර කර ගනිමින් මේ ආකාරයෙන් නඩු පැවරීමට හැකියාවක් නොමැති බවත් මෙම සාක්ෂිකරුවගේ සාක්ෂිය මෙහෙයවීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බවත් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය. සෙසු විත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ද මෙම විරෝධතාවයට සිය සහාය පළ කළේය.එම විරෝධතාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතා කියා සිටියේ, මෙම අනතුරින් පසුව අදාළ සාක්ෂිකරු දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා දුන් පසුව පුනරුත්ථාපනය වී දීර්ඝ ප්‍රතිකාර ක්‍රියාදාමයකට ලක් වූ බවය.මොහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසිය අවස්ථා කිහිපයකදීම උත්සාහ කළත් ඔහුගේ රෝගී තත්ත්වය හේතුවෙන් එය කර ගැනීමට නොහැකි වූ බව නියෝජ්‍ය සුලසිටර් ජෙනරාල්වරයා කියාසිටියේය.මෙහිදී විනිසුරුවරයා ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සාක්ෂිකරුගේ ප්‍රකාශයක් සටහන් කරගෙන නැද්දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගෙන් විමසුවේය.ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ, එවැනි ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවය.සාක්ෂිකරුවෙකුගේ ප්‍රකාශයක් නොමැතිව වුවද ඔහුගේ සාක්ෂි මෙහෙයවීමට හැකියාව තිබෙන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරයා එසේනම් විත්තියේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කරගන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.කෙසේ වෙතත් මෙම සාක්ෂිකරුගෙන් ‍රකාශයක් සටහන් කරගෙන මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබෙන බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.එම දැනුම් දීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා දැඩි විරෝධය පළ කළේය. මේ සිද්ධිය සිදුවී මේ වන විට වසර නවයකට ආසන්න කාලයක් ගත වී තිබෙන බවත් එතරම් පැරණි සිද්ධියක් ගැන දැන් ප්‍රකාශ සටහන් කර ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා එවැනි සාක්ෂියක කිසිදු වටිනාකමක් නොමැති බවත් පැවසුවේය.සිද්ධිය සිදුවී වසර ගණනාවකට පසුව සටහන් කරගන්නා ප්‍රකාශයක් තුළ බරපතළ ගැටලු මතු විය හැකි බවත් එවැනි ප්‍රකාශයක් මත මෙම නඩුව මෙහෙයවීම සම්බන්ධයෙන් බිත්තිය තරයේ විරුද්ධ වන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර සිටියේය.කෙසේ වෙතත් මෙම සාක්ෂිකරුගේ සාක්ෂිය සටහන් කර ගැනීම සම්බන්ධයෙන් තමා කරුණු අධ්‍යනය කර අධිකරණයට දැනුම් දිමක් සිදුකරන බවත් එතෙක් වෙනත් සාක්ෂිකරුවන් තුන්දෙනෙකු මීළඟ දින සාක්ෂි කැඳවීම සඳහා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉන් අනතුරුව නඩුව යළි ජනවාරි මස 20 වනදා දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදින අදාළ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් නියම කළේය.මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ඇමැති පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ සිද්ධිය වූ වකවානුවේ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සුදත් අස්මඩල යන අය නම් කර තිබේ.ඔවුන් මේ වනවිට අධිකරණය විසින් ඇප මත මුදා හැර සිටින අතර මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගනී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ...

ගොවි සංවිධානවල ඉල්ලීමට අනුව සාධාරණ සහතික වී මිලක් ලබා දී තිබෙනවා- ඇමති ලාල්කාන්ත

ගොවිජන ජීවිත නගාසිටුවීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජය කැපවී සිටිනවා– අනුරාධපුරයේ පැවැති විශේෂ ගොවි හමුවේදී කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img