හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජීවිත තර්ජන තිබේ නම් ඊට අදාළ කරුණු දිවුරුම් ප්‍රකාශයක් මඟින් 2026 පෙබරවාරි මස 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් අද(10) දින නියෝගයක් නිකුත් කර තිබෙනවා. ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් පැහැරගෙන යාමට අදාල නඩුව අද දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. එහිදී ගෝඨාභය රාජපක්ෂ නැවත වරක් ජීවිත තර්ජන ඇති බව පවසමින් අධිකරණයට නොපැමිණ සිටි අතර ඒ බව ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා. එවැනි ජීවිත තර්ජනයක් තිබේ නම් ඊට අදාල කරුණු 2026 පෙබරවාරි 06 වැනිදා දිවුරුම් ප්‍රකාශක් මගින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙනවා.යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ ගෝඨභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අධිකරණය මඟ හරිමින් සිටින බවයි.එහිදී අදහස් දැක්වූ පුබුදු ජයගොඩ ” අද දෙසැම්බර් මාසේ 10 වෙනිදා. අදට තමයි ලෝක මානව හිමිකම් දිනය යෙදිලා තියෙන්නේ. මීට අවුරුදු 14කට කලින් ලෝක මානව හිමිකම් දිනය සැමරීම සඳහා යාපනයේදී ක්‍රියාමාරග සකස් කරමින් සිටියදී තමයි ලලිත් සහ කූගන් සහෝදරවරු දෙදෙනාව පැහැරගෙන ගිහිල්ලා අතුරදන් කළේ. ඒ පැහැරගැනීම වුණේ අධි ආරක්ෂිත කලාපයකදී. මේ මේ විදිහට මනුෂ්‍යයින් පැහැරගෙන ගිහිල්ලා අතුරදන් කරපු පළවෙනි අවස්ථාව මෙය නොවෙයි. විශේෂයෙන්ම ජාතික ජන බලවේග ආණ්ඩුවට ඡන්දය දීමේදී ජනතාව බලාපොරොත්තු වුණ ප්‍රධාන දෙයක් තමයි පසුගිය ආණ්ඩු මගින් සිදුකළ අපරාධවලට නීතිය ක්‍රියාත්මක වීම. නමුත් ආණ්ඩුව දිගින් දිගටම කරන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරන එක. සමාජයේ කතාවක් තියනවා ප්‍රමාදවන යුක්තිය යනු ඉටු නොවන යුක්තියයි කියලා. හැබැයි අපි ආණ්ඩුවට කියනවා මේ අපරාධවලට අදාල පරීක්ෂණත් ඉටු නොවන යුක්තියේ ගොන්නට ඇතුළත් කරන්න එපා කියලා. ඒ නිසා ඉක්මනින් ඊට අදාලව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවට තදින් බලපෑම් කරනවා. “






















