හිටපු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරියක් මෙන්ම ප්‍රවීණ සිනමා නිළියක වන ගීතා කුමාරසිංහ මහත්මියගේ ස්විට්සර්ලන්ත ජාතික සැමියා වන ක්‍රිස් ෆර්ඩිනන්ඩ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය.
බත්තරමුල්ල, ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි සිය දියණියගේ නිවසේ රැඳී සිටි ක්‍රිස් ෆර්ඩිනන්ඩ් මහතා ඊයේ (20) උදෑසන අවදි නොවීම හේතුවෙන් පවුලේ සාමාජිකයන් විසින් තලංගම පොලිසියට දැනුම් දී තිබේ.
පසුව සිදුකළ පරීක්ෂණවලදී ඔහු නිදි යහන මතම මියගොස් සිටි බව අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම හදිසි මරණ පරීක්ෂකවරයා ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කරන ලෙස නියෝග කර තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව දේහය අවසන් කටයුතු සඳහා ස්විට්සර්ලන්තය වෙත රැගෙන යාමට නියමිත බව තලංගම පොලිසිය සඳහන් කරයි.






















