ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස්
ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට ඉතාමත් සුළු පිරිසක්, 10 දෙනෙක් 12 දෙනෙක් පමණ, ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් හැටියට පෙනී සිටිමින් පෝස්ටර් අල්ලගෙන නීතිඥ සංගමය හා එහි සභාපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය විවේචනය කළා.
එය අප තරයේ හෙළා දකිනවා. දේශපාලනය ඉතාමත් පහත් මට්ටමට ගේන වැඩපිළිවෙලක් තමයි මේ ගෙනියන්නේ. තමන් කරන දෙයක් කරන්න ඕනේ තමන්ගේ නමින්, වෙන කාගේ හරි අනන්‍යතාවය ආරූඪ කරගෙන නෙමෙයි.
අපි ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි, අපේ පූර්ණ සහයෝගය තියෙනවා නීතිඥ සංගමය ගෙනියන වැඩපිළිවෙලට, එහි සභාපතිතුමාට, එහි නිලධාරී මණ්ඩලයට වගේම ඔවුන් මේ අවතීර්ණ වෙලා තිබෙන ක්‍රියාපටිපාටියට.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් දිගින් දිගටම ඉදිරිපත් කෙරෙමින් තිබෙනවා. ඒ සඳහා තව සතියක කාලයක් තියෙනවා. දේශපාලන පක්ෂ, හිටපු මන්ත්‍රීවරු, සිවිල් සමාජ ආයතන, සාමාන්‍ය පුරවැසියන් මේ සියලු දෙනාම උත්සුක වෙනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජිත සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමට.
පාර්ශ්වකරුවන් පිළිබඳව කැපී පෙනෙන විවිධත්වයක් තියෙනවා. හැබැයි මේ සියලුම පෙත්සම්වල පොදු ලක්ෂණයක් තියෙනවා. හැම පෙත්සමෙම තිබෙන එකම තේමාවක්. ඒ තේමාව තමයි මේක නීතිගත කිරීම සඳහා අනිවාර්යයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියන ස්ථාවරය. ජනතා පරමාධිපත්‍යයට අපි සියලුදෙනාම ගරු කරන්න ඕනේ. අපේ රටේ අධිකරණය මේ විදිහට දැඩි විපර්යාසයකට භාජනය වෙන සංශෝධනයක් අනිවාර්යයෙන් ඍජුව ජනතාවගේ තීරණයට යොමු කළ යුතුයි.
ඒ මූලික තර්කය අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වෙලා තිබෙන සියලුම පෙත්සම්වල ඇතුළත් වෙලා තිබෙනවා.
මේ අතර හරි පුදුම දෙයක් වුණා. ඒ තමයි විෂයභාර ඇමතිවරයා කරපු ප්‍රකාශය. අධිකරණ ඇමතිවරයා ප්‍රසිද්ධියේ කියනවා “ජනමත විචාරණයක් තියෙන්නේ නැත” කියලා. බොහොම පැහැදිලිව කිව්වා ජනමත විචාරණයක් තියන්නේ නැහැ කියලා. කවුද මේ කියන්නේ? මේ යෝජිත 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අධිකරණ ඇමතිවරයා. එතුමාගේ විෂය පථය තුළ තමයි මේක තියෙන්නේ.
මේ වන විට මේ කාරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය මණ්ඩලයකට තීරණයක් සඳහා යොමු කරලත් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පත් කරලා නෑ මේ ගැන විභාග කරලා නිගමනයකට එන්න.
එහෙනම් අධිකරණ ඇමතිවරයා කොහොමද දන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කුමක්ද කියලා? ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ඇමතිවරයාගේ හෝ ආණ්ඩුවේ හෝ විධායකයේ රබර් මුද්‍රාවක් නෙමෙයි!
මෙය ඉතාමත් වැදගත් කාරණයක්. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීනව, අපක්ෂපාතීව, අපේ රටේ නීතියට අනුකූලව, හෘද සාක්ෂියට අනුව නිගමනයකට එළඹිලා, ඒ නිගමනය පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාට යොමු කළ යුතුයි. මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යභාරයක්. ඒකට අතපෙවීමට කිසිම බාහිර පුද්ගලයෙකුට පුළුවන්කමක් නෑ, විශේෂයෙන් ඇමතිවරයාට හෝ ආණ්ඩුවට.
මේ ප්‍රථම අවස්ථාව නෙමෙයිනේ. අහවල් නඩු තීන්දුව අහවල් දවසේ එනවා, අප්පුඩි ගහලා ඒක පිළිගන්න සූදානම් වෙන්න, එහෙම ප්‍රකාශ ආණ්ඩුව පැත්තෙන් කෙරිලා තියෙනවා. මොකක්ද මේකේ ප්‍රතිඵලය? අධිකරණය ජනතා මනසේ සැහැල්ලුවට ලක් වීම. මෙය අධිකරණයට ලැබිය යුතු ගෞරවය, තේජස, අභිමානය විශාල ලෙස පළුදු කිරීමක්.
22 වැනි යෝජිත සංශෝධනය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියන කාරණය විභාග කර බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය මණ්ඩලයක් පත් කිරීමටත් ඉස්සෙල්ලා විෂයභාර ඇමතිවරයා කියනවා නම් “මෙන්න මේක තමයි තියෙන්නේ, ජනමත විචාරණයක් මේ සම්බන්ධයෙන් පවත්වන්නේ නෑ” කියලා, එහෙනම් මම පැහැදිලිව කියනවා ඒක අධිකරණයට අපහාසයක් කියලා.
මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වෙලා තියෙන පෙත්සම්වල බහුතරයක, ඒක නීතිඥ සංගමයේ පෙත්සමෙත් සඳහන් වෙනවා, මම ඉදිරිපත් කරපු පෙත්සමෙත් බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා, මේක විභාග කර බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කළ යුතුයි කියලා. හැමදෙනාම! තෝරා බේරාගෙන නෙමෙයි.
එසේ කිරීමට අග්‍රවිනිශ්චයකාරතුමාට පැහැදිලි බලයක් දීලා තිබෙනවා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. 132 වැනි වගන්තියේ 3 වැනි උප වගන්තියෙන් එතුමාට ඒ බලය දීලා තියෙනවා.
ඒ බලය උත්තරීතර නීතියෙන් එතුමාට පැවරී තියෙනවා පමණක් නෙමෙයි, ඒක ක්‍රියාත්මක කරලා තියෙනවා අපේ රටේ. පූර්වාදර්ශ තියෙනවා! 1983 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 6 වැනි සංශෝධනය සම්මත වෙන අවස්ථාවේදී ඒකේ වගන්තියක් තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් දිවුරුම් ගන්න ඕනේ කියලා ජනාධිපතිවරයා ඉදිරියේ නොවෙයි, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහෝදර විනිශ්චයකාරවරයෙක් ඉදිරියේ. ඉතින් එතෙක් පැවතිච්ච සම්ප්‍රදායන් මේකෙන් සම්පූර්ණයෙන් බැහැර වෙනවා.
“මේක නිත්‍යානුකූලද?” කියන ප්‍රශ්නය පැන නැගුණා. ඒක විභාග කර බැලීම සඳහා එදා සිටි නෙවිල් සමරකෝන් අග්‍රවිනිශ්චයකාරතුමා පත් කළා සියලුම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක්. එදා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටියා විනිශ්චයකාරවරුන් නව දෙනෙක්. එක්කෙනෙක්වත් ඉවත් කරන්නේ නැතුව, මේ කාරණයේ වැදගත්කම නිසා ඒ නව දෙනාම ඇතුළත් කරලා පූර්ණ විනිශ්චය මණ්ඩලයක් පත් කළා එදා සිටි නෙවිල් සමරකෝන් අග්‍රවිනිශ්චයකාරතුමා.
මේකට නීතිමය ප්‍රතිපාදන තියෙනවා, ප්‍රායෝගික පූර්වාදර්ශ තියෙනවා. ඒ නිසා තමයි අපි තරයේ ඉල්ලා සිටින්නේ, අනිවාර්යයෙන් මේක කරන්න විනිශ්චයකාරවරුන් කීප දෙනෙක් තෝරගෙන. එහෙම නැතිව අනික් අය ඉවත් කරලා, කැමති අය දාලා, අකමැති අය ඉවත් කරලා මෙය කරන්න පුළුවන්කමක් නෑ. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය ආසන හොබවන සියලුම විනිශ්චයකාරවරුන්, මීට ඉස්සෙල්ලා මම සඳහන් කරපු අවස්ථාවලදී කරා වගේම මේ අවස්ථාවේදීත් සියලුම විනිශ්චයකාරවරුන් අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතුයි.
අපි දකිනවා මේ කළ යුතු දේ වැළැක්වීම සඳහා ආණ්ඩුව ඉතාමත් කූට උපක්‍රමයක් දියත් කරමින් සිටිනවා, සැලසුම් සහගතව. දැන් පනත් තුනක් තියෙනවා. 22 වැනි සංශෝධනය තියෙනවා. අධිකරණ පද්ධතිය පිළිබඳ සංශෝධන පනතක් තියෙනවා (Judicature Amendment Bill). ඒ වගේම දැන් තව එකක් දාලා තියෙනවා තුන්වෙනියට, ඒක තමයි දූෂණ විරෝධී පනතට අදාළ සංශෝධන.
මේ දූෂණ විරෝධී පනතට සංශෝධන අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. මෙය දීර්ඝ කාලයක් රජයේ සැලකිල්ලට භාජනය වෙච්ච පනතක්. 22 වැනි සංශෝධනය පිළිබඳ කාරණය රට පුරා උඩුදුවන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ පිළිබඳව උණුසුම් විවාදයක් රට පුරාම තියෙනවා. රූපවාහිනිය බැලුවත්, පුවත්පත් බැලුවත් ඒක පැහැදිලිව පේනවා. ලිපි, කාටූන්, කතෘ වැකි, හැමදෙයකින්ම.
රජය චේතනාන්විතව තෝරාගන්නවා ඒ දූෂණ විරෝධී පනතට සංශෝධන මේ මොහොතේම ඉදිරිපත් කරන්න. ඒක අවංකව කරන වැඩක් නෙමෙයි. ඒකේ අපි දකිනවා පැහැදිලිව යටි අරමුණක්.
මොකක්ද ඒ ව්‍යාජ අරමුණ? ඒකෙන් මාර්ගය කපන්න උත්සාහයක් දරනවා අධිකරණයට අසීරුතාවයක් ඇති කරගැනීමට. ඒ කියන්නේ යම්කිසි තර්කයකට පසුබිම, ප්‍රවේශය සකස් කිරීමේ සැලසුම් සහගත උත්සාහයක් තමයි අපි ඒ තුළ දකින්නේ.
මොකක්ද තර්කය? තර්කය තමයි දැන් එක පනතක් නෙමෙයි, පනත් තුනක් තියෙනවා. එතකොට කොහොමද ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිශ්චයකාරවරුන් යොමු කරන්නේ එක පනතක් විභාග කර බැලීම සඳහා පත් කරන විනිශ්චය මණ්ඩලයකට? තුනක් තියෙන නිසා විනිශ්චය මණ්ඩල තුනක් අවශ්‍යයි. එතකොට ඒ තුනටම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පත් කරන්න ඕනේ, තුනටම බෙදලා දැන් ඉන්න විනිශ්චයකාරවරුන් 13 දෙනා ඒ තුන අතර බෙදලා පත් කරන්න ඕනේ. එක මණ්ඩලයකට ඔක්කොම විනිශ්චයකාරවරුන් දාන්න බෑ.
මෙන්න මේ තර්කයට පසුබිම සූදානම් කිරීම සඳහා තමයි මේ තුන්වෙනි පනත (මීට ඉස්සෙල්ලා අදාළ නැතුව තිබුණා, ඊට පස්සේ දාන්න තිබුණා), හැබැයි මේ තීරණාත්මක මොහොතේ ඒක ඉදිරිපත් කරන්නේ මෙන්න මේ වංචනික හේතුව නිසා තමයි විධායකය, ආණ්ඩුව ඒක කරන්නේ, කූට චේතනාවක් ඇතිව.
ඒ නිසා, 22 වැනි සංශෝධනය විභාග කර බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිශ්චයකාරවරුන් යෙදවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිමය ප්‍රතිපාදන තියෙනවා, පූර්වාදර්ශ තියෙනවා. මේ අවස්ථාවේදී එසේ කිරීම සඳහා ප්‍රබල ප්‍රතිපත්තිමය හේතු තියෙනවා. එසේ කිරීම සම්බන්ධයෙන් කිසිම ප්‍රායෝගික අවහිරයක් හෝ බාධාවක් නැහැ.
ඒ නිසා තමයි අපි අනිවාර්යයෙන් ඉල්ලා සිටින්නේ මේක සියලුම විනිශ්චයකාරවරුන්ට යොමු කළ යුතුයි කියලා.
දැන් තවත් කැපී පෙනෙන දෙයක් තමයි මේ සම්පූර්ණ ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ රටේ සියලුම ආගමික නායකයින් එක හඬින්, ඒක මතයකින්, කිසිම මතභේදයකින් තොරව ආගමික නායකයන් මේ සඳහා දැඩි විරෝධය ප්‍රකාශ කර තියෙනවා.
මහා නායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිතුමාට යොමු කල සංදේශය සැඟවීමට මොනවාද ආණ්ඩුව පැත්තෙන් නොකළේ, මොන උත්සාහයක්ද නොදැරුවේ? ඒවා ඔක්කොම ව්‍යර්ථ වුණා. එහෙම දෙයක් හංගන්න බෑ. හැබැයි ඒ සංදේශය එළියට ආවට පස්සේ පැහැදිලි වුණා උන්වහන්සේලා ඉදිරිපත් කරලා තියෙන මතය මොකක්ද කියලා. උන්වහන්සේලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා 22 වැනි සංශෝධනය වහාම හකුලාගන්න කියලා. ඒ වගේම කාදිනල් මැතිතුමා. හින්දු, මුස්ලිම්, හැම ආගමික නායකයෙක්ම ඒකමතිකව කියනවා මේ මොහොතේ මෙවැනි සංශෝධනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒම ඉතාමත් අහිතකරයි, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්, අධිකරණයේ ස්වාධීනත්වයට විශාල බලපෑමක් කියලා.
මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම ආගමික නායකයින්ගේ ඉල්ලීමටවත් ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැත්නම්, නීතිඥ සංගමයට, සිවිල් සමාජයට, විපක්ෂයට ඇහුම්කන් දෙන්නේ නැත්නම්, මේකෙන් පැහැදිලි වෙන්නේ ආණ්ඩුවට තියෙන්නේ ඒකාධිපති උවමනාව විතරයි කියලා.
ඒ නිසා අපි නැවතත් අවධාරණය කරනවා, මේ යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම සඳහාත්, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම සඳහාත් නීතිමය වශයෙන් වගේම ජනතාව සමග එකතුවෙලා ගතහැකි සියලුම දේශපාලන හා සිවිල් ක්‍රියාමාර්ග ගැනීමට අපි සූදානම් කියලා.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ගරු ඇමතිතුමා කියනවා, ජී. එල්. පීරිස් මහත්මයාගේ ගෙදර රෑට රෑට කුමන්ත්‍රණ කරන්නේ නැතුව එළිපිට ඇවිල්ලා උද්ඝෝෂණය කටයුතු කරන්න කියලා.
නිල විපක්ෂයක් තිබියදී, පාර්ලිමේන්තුවේ සැලකිය යුතු බලයක් තියෙන පක්ෂ තිබියදී, මේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය තමන්ගේ ප්‍රබල විපක්ෂය හැටියට පිළිගැනීම ගැන එතුමාට මගේ ස්තූතිය පිරිනමනවා.
ඒ වගේම මං ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා, පැලවත්තේ එහෙම නැත්නම් වෙනත් තැන්වල, මන්දිරවල රැස්වෙන ශ්‍රී ලංකාවේ බෝල්ෂෙවික්, ලෙනින් පක්ෂය නැමැති ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ තියෙන ඒ රහසිගත, යටබිම්ගත, පාතාල පක්ෂයේ නාමලේඛනය පුළුවන් නම් මේ රටට ඉදිරිපත් කරන්න කියලා.
අන්න ඒවා තමයි නියම කුමන්ත්‍රණ! අවුරුදු 60කට අධික කාලයක් රහසේ රැස්වෙමින්, කුමන්ත්‍රණ කරමින් ඔබතුමාලා කරපු කෙරුවාව මේ රටම දැන් දන්නවා.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඇතිවෙලා තියෙන මේ තත්ත්වය, රටේ ඇත්ත ප්‍රශ්නය මොකක්ද කියලා අවබෝධ කරගන්නේ නැතුව ආණ්ඩුව විසින්, එහෙම නැතිනම් පැලවත්තේ රතු ජුන්ටාව විසින් තමන්ගේ පාලන කාලය දීර්ඝ කරගැනීම සඳහා කරන ක්‍රියාදාමයක් බව අපි පුන පුනාම කියනවා.
මොකද මේ ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරු, ඇතැම් ඇමතිවරු “ආයි ඡන්ද නෑ, අවුරුදු 10කට අපි, 20කට ඉන්නවා, මේ පත්වීම් ලබන ඔබ විශ්‍රාම යන්නෙත් අපේ ආණ්ඩුවක් යටතේ” ආදී වශයෙන් ප්‍රකාශ කර තියෙනවා.
නමුත් ජනාධිපතිවත්, මේ ආණ්ඩුවේ වගකියයුතු මාධ්‍ය ප්‍රකාශක ඇමතිතුමාවත් කියලා නෑ “ඒවා ඒගොල්ලන්ගේ පෞද්ගලික මත, අපි නිසි කාලයට ඡන්ද තියෙනවා” කියලා. පළාත් සභා ඡන්දය තියලා නෑ. ඒ වගේම ගේනවා කියපු ජනාධිපතිධූරය අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලාත් නෑ. ඒ සියල්ල අතරේ මැතිවරණ නොතියා පාලන බලය රැගෙන යාමේ කුමන්ත්‍රණයක ජනතා විමුක්ති පෙරමුණ හා විශේෂයෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ක්‍රියා කරගෙන යනවා.
ඒකට හේතුවකුත් තියෙනවා, ඒක තමයි මේ අවුරුදු දෙකක කාලය තුළ ඔවුන් බියට පත්වෙලා තියෙනවා ඔවුන් කළ කී දේවල ප්‍රතිඵල, පව, කර්මය ඔවුන් පිටුපස හඹා එයි කියන බියත් එක්ක තමයි ඒ සියල්ල කරන්නේ.
ඇත්තටම මේ රටේ ඇත්ත ප්‍රශ්නය තමයි, අපි 2022දී බංකොලොත් වුණා. කෙසේ නමුත් අපිට 2023 ඉඳන් 2027 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය යටතේ තාවකාලික විරාමයක් ලැබුණා ආර්ථිකය ස්ථායීකරණය කරන්න. ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජනාධිපතිත්වයත් සමග ඒ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙල අනුගමනය කළා. බදු මිල ඉහළ දැම්මා, විදුලි බිල ආදී දේවල් ඉහළ දාලා යම් ආර්ථික ස්ථායීකරණයක්, යම් වේදනාත්මක ආර්ථික ස්ථායීකරණයක් ඇති කළා.
ඒ ආර්ථික ස්ථායීකරණය ඉදිරියට ගෙනියන්න ඕන විතරක් නෙවෙයි, එම ආර්ථික ස්ථායීකරණය තුළින් අපිට යන්න පුළුවන් 2027 දක්වා පමණයි. 28 ඉඳන් අපිට ණය ගෙවන්න තියෙනවා. අපිට අවශ්‍යයි ප්‍රමාණවත් ආර්ථික වර්ධනයක්, රටේ ඵලදායිතාවය ඉහළ දැමීමක්, රැකියා උත්පාදනයක්, ඒ වගේම අපේ ඩොලර් සංචිත වැඩිදියුණු කිරීමක්.
අපේ ඩොලර් සංචිතයේ දැන් තියෙන්නේ ඩොලර් බිලියන 6.4යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව නම් අපේ ආර්ථිකය ස්ථායී වෙන්න මේක ඩොලර් බිලියන 8.6ක් දක්වා වැඩි වෙන්න ඕනා. ලබන වසරේ මේක ඩොලර් බිලියන 12ක් වෙන්න ඕනා, ඒ කියන්නේ 27දී. 28දී මේක ඩොලර් බිලියන 15ක් වෙන්න ඕනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ නිර්ණායක අනුව.
මේක තමයි පසුගියදා අර රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ කෘතිය එළිදක්වන අවස්ථාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මතුකරපු ගැටලුව. ඒ ගැන අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඒ අනුව වර්ධනයක් නැතුව 7%ක 8%ක, ඵලදායිතාවය වැඩි කරන කිසිම ක්‍රියාමාර්ගයක් නැතුව, ඩොලර් උත්පාදනය කිරීම සඳහා මොනම නව ආයෝජනයක්වත් නැතුව, ෆේස්බුක්වලින්, සමාජ මාධ්‍යවලින් හුවා දක්වමින් රටක් කරන්න බැරි බව ජනාධිපතිතුමාටත්, ආණ්ඩුවටත්, රටේ ජනතාවටත් අපි කියන්න ඕනේ.
ඒ වගේම එතුමන්ලා කියන ලොකුම කතාව මොකක්ද? හොරු අල්ලන්න යනවා. දූෂණ පනත වෙනස් කරන්න ගියත්, විනිශ්චයකාරවරුන්ගේ ධූර කාලය වැඩි කරන්න ගියත් හොරු අල්ලනවා. අල්ලපු හොරු කවුද?
මේ රටේ 2021දී ගෑස් හිඟයක් ඇතිවුණා. ඒ ගෑස් හිඟය ඇතිවෙන්න හේතු වුණේ එක්තරා පුද්ගලයෙක් ඒ ආණ්ඩුවට කිව්වා “මම ලාභෙට ගෑස් දෙනවා, ගෑස් ටෙන්ඩරය දාන්න එපා” කියලා. හරිද? අන්තිමට ගෑස් ටැංකි පිපිරිලා මිනිස්සු මියගියා, ගෑස් හිඟයක් ඇතිවුණා, ගෑස් පෝලිම් ඇතිවුණා. දැන් කෝ ඒ පුද්ගලයා? මම වගකීමෙන් කියනවා ඒ පුද්ගලයා අද ඉන්නේ මේ ආණ්ඩුවත් එක්ක. ඒ පුද්ගලයාට කිසිදු නීතිය ක්‍රියාත්මක වීමක් සිද්ධ කරලා නෑ.
රටේ තෙල් අර්බුදය හදපු අයට, රටේ මූල්‍ය අර්බුදය හදපු මහ බැංකුවේ, ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ කිසිවෙකුට මේ ආණ්ඩුව දඬුවම් දීලා නෑ. මම බොහොම වගකීමෙන් කියනවා 2022 මාර්තු 7 වෙනිදා රහසිගත ලිපියක් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවකට ජනාධිපති ලේකම්වරයාටත්, මුදල් අමාත්‍යාංශයටත්, ඒ වගේම මහ බැංකුවටත් අනතුරු ඇඟෙව්වා ලංකාව බංකොලොත් වීමට යන බව. ඒ ලියුම ලියලා මාසයක් ඇතුලත ලංකාව බංකොලොත් බව ප්‍රකාශයට පත්කළා. ඒ වෙනුවෙන් ගත්ත කිසිදු පියවරක් නෑ. ඒ පියවර ගත්ත අය සම්බන්ධයෙන් මේ ආණ්ඩුව ගත්ත පියවරකුත් නෑ.
ඒ නිසා මේ වංචාවෙන් මහජනයාගේ ඇස් ඇරවන එක තමයි අපි කරන්නේ. අන්න ඒක නිසා තමයි අපි ජී. එල්. පීරිස් මහත්තයාගේ ගෙදර රෑට රැස්වෙලා කුමන්ත්‍රණ කරනවා වගේ භයානක හීන නලින්ද ජයතිස්ස මැතිතුමාට පෙනෙන්න පටන් අරන් තියෙන්නේ.
ආණ්ඩුව මේ උසාවි ප්‍රශ්න විසඳන්න යනවා නම්, ඒ සම්බන්ධයෙන්, තාක්ෂණය පාවිච්චි කරන්න ඕනේ. අද දන්න තරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් online තමන්ගේ පෙත්සම් භාරදෙන්න පුළුවන්. අනික් කිසිම උසාවියක ඒකට ඉඩ නැහැ. අපි කියන්නේ නෑ ඩිජිටල්කරණය කියලා, ඒක digitization, online පෙත්සම් භාරගන්න පුළුවන්. අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රශ්න විසඳනවා නම් ඒ විසඳන හැටි ගැන තොරතුරු ලබාදීලා තියෙනවා. අවශ්‍ය අණපනත් වෙනස් කරලා ඇප ලබාදීමේ ක්‍රම වෙනස් කරන්න. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරපු අය රිමාන්ඩ් බන්ධනාගාර නොකර පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලකට යන්න. ඒ වගේම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රමාද තියෙනවා නම් ඒවා වෙනස් කරන්න. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයන් තියෙනවා නම් ඒවා ඩිජිටල්කරණය හරහා සති කිහිපයකින් විසඳන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය අද ලෝකයේ තියෙනවා.
නමුත් ආණ්ඩුව කරන්නේ ඇත්ත ප්‍රශ්න යට ගහලා, ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කිරීමට තමන්ගේ පාලන කාලය දීර්ඝ කරගැනීමේ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමයි.
අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වංචාවලට, මේ රැවටිලිවලට අහුවෙන්න එපා කියලයි. අපි මේ ඒකාබද්ධ විපක්ෂය ලෙස රට පුරා යමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල ඉදිරියටම අරගෙන යනවා.
මෙහිදී අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා
අද ජනතාවට ලැබෙන ආදායම ජීවත් වීමට ප්‍රමාණවත් නැහැ. මාසෙන් මාසේ උද්ධමනය ඉහළ යනවා.
මෙවැනි පසුබිමක් යටතේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට රජය ගන්නා උත්සාහයට මහනායක හිමිවරුන්, නීතිඥ සංගමය ඇතුළු දේශීය මෙන්ම ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් විරෝධය පළ කර තිබෙනවා.
නඩු ප්‍රමාදය වැළැක්වීමට නීතිපති දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීම, අධිකරණ පද්ධතියට ඉලෙක්ට්‍රොනික/ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම සහ අධිකරණ කාර්ය මණ්ඩලය වැඩි කිරීම වැනි සැබෑ විසඳුම් ලබා නොදී විනිසුරුවන්ගේ වයස පමණක් දීර්ඝ කිරීම විහිළුවක්.
අධිකරණයට රජය ඇඟිලි ගැසීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වය නැති වී, එය රජයේ තවත් එක කාර්යාලයක් බවට පත්වනවා. එමගින් රට ඒකාධිපති මෙන්ම කොමියුනිස්ට් පාලනයක් දෙසට තල්ලු වන බව මා මෙහිදී ප්‍රකාශ කර සිටිනවා.
හිටපු අමාත්‍ය සුරේන් රාඝවන් මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ශිරාස් යුනූස් මහතාද සහභාගි වීය.






















