Friday, August 28, 2026
HomeNEWSනිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින්...

නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට

පූනාගල, කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට

මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායකවී, මේ මහපොළවටම පස්වන සෑම මිනිසෙකුටම හොඳ ජීවිතයක් උරුමකර දීමේ වගකීම ඉටු කරනවා

  • ජනපති
    ඉන්දියානු නිවාස 4000ක වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 163 දෙනෙකු සඳහාද සින්නක්කර ඔප්පු

මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායකවී, මේ මහපොළවටම පස්වන සෑම මිනිසෙකුටම හොඳ ජීවිතයක් උරුමකර දීමේ වගකීම රජය භාරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2023 වසරේදී සිදු වූ නායයෑමෙන් නිවාස අහිමිව වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කර සහ අනාරක්ෂිත තත්ත්වයක් යටතේ ජිවත් වූ පූනාගල, කබරගල පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට අද (28) පෙරවරුවේ එක් වෙමිනි.
මලෛයගම් ජනතාව අපේම සහෝදර ජනතාවක් ලෙස ඔවුන්ට මේ රටේ පුර්ණ අයිතිය සහ හොඳ ජීවිතයක් ලබා දීමට කටයුතු කරන බවත්, සියවස් ගණනාවක් ඔවුන් ගතකළ ජීවිතය ඔවුන්ගේ දරුවන්ට හිමිකර දීම යුක්ති සහගත නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
පසුගිය යුද සමයේදී රට හැර ගොස් ඉන්දියාවේ ජීවත් වන ජනතාවට යළි මෙරටට පැමිණීමට තිබූ බාධා ඉවත් කිරීමට පසුගිය කැබිනට් මණ්ඩලයේදී තීන්දු කළ බවද ජනාධිපතිවරයා පැවසීය.
එළඹෙන අයවැයෙන් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දී තිබෙන බවත්, ඉදිරියේදී වතු සමාගම් සමග ගිවිසුම්වලට එළඹිමේදී මෛලයගම් ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වු වගන්ති එම ගිවිසුම්වලට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
අපේ රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය, මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ වගකීමද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වගකීම් දරන සියලු ආයතන සහ දෙපාර්තමේන්තුවල බලය ඒකාබද්ධ කර, සියලු බලය සහිත මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමට අදාළ පනත මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බවද සඳහන් කළේය.
වසර ගණනාවක් අනාරක්ෂිත පරිසරයක ජීවත් වූ මෙම පවුල් සඳහා ආරක්ෂිත නිවසක්, තමන්ගේම ඉඩමක් සහ අභිමානවත් ජීවිතයක් උරුම කර දීමේ අරමුණින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්තියට අනුව මෙම නිවාස ව්‍යාපෘතිය ඉදි කර තිබේ.

පර්චස් 10 බැගින් වූ ඉඩම් සහ වර්ග අඩි 550කින් යුත් අංග සම්පූර්ණ නිවාස 50ක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකර තිබෙන අතර නිදන කාමර දෙකක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් සමන්විත මෙම එක් නිවසක් වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 32කට ආසන්න වේ.
එසේම, නව නිවාසවල පදිංචි වන සෑම පවුලකටම ගෘහ භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු රුපියල් 175,000ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමටද කටයුතු කර ඇත.
ප්‍රතිලාභීන් 10දෙනෙකු වෙත සංකේතාත්මකව නිවාසවල යතුරු භාරදීම සහ හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මේ අතර ඉන්දියානු නිවාස 4000ක වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, බණ්ඩාරවෙල සහ හපුතලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල ඉදි කරන ලද නිවාසවල පදිංචි ප්‍රතිලාභීන් 163 දෙනෙකු සඳහා සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
“නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේදී පස් කපා බිම් සකස් කිරීමේ සිට නිවාසවල අත්තිවාරම් දැමීම, නිවාස සවිමත් ලෙස ඉදිකිරීම් කටයුතු නිම කිරීම දක්වා වූ සෑම අදියරකදීම ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය දක්වන ලද සක්‍රීය හා ප්‍රශංසනීය දායකත්වය අගයමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා වෙත සංකේතාත්මක තිළිණයක් පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
නිවාස ප්‍රතිලාභී පවුල්වල උපහාරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වමින් සමරු තිළිණ පිළිගැන්වීමද සිදු විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
අද මෙම ප්‍රදේශයේ ජනතාවට සුවිශේෂී දිනයක්. වසර 200කට වඩා වැඩි කාලයක් අපේ රටේ ආර්ථිකය ගොඩනැගීමට දායක වී සිටින මෙම මලෛයගම් ජනතාව අපේම ජනතාවක්. ඔවුන් ආවේ කොහෙන්ද, ආවේ කවදාද කියන එක වැදගත් නැහැ. එය ඉතිහාසයයි. හැබැයි අද අපේ රටේ උපදින, රටේ ආර්ථිකයට දායක වන, මේ මහපොළවේ පස් බවට පත්වන මේ ජන කණ්ඩායම අපේ රටේම ජනතාවක්. සියවස් දෙකකට අධික කාලයක් ජීවත් වුවත් ඔවුන් මේ මාතෘ භූමියේ තමන්ගේම බිම් කොටසක උරුමයක් නොමැති ජන ප්‍රජාවක්. තමන්ගේම නිවසක් අහිමි වූ ජනතාවක්.
සියලු ජනතාවට ජන ජීවිතය පවත්වාගෙන යාම වෙනුවෙන් මූලික කරුණු 05ක් අවශ්‍ය වෙනවා. නිවසක්, ආදායම් මාර්ගයක්, දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් සහ මානසික සුවය එම කරුණු 05 වෙනවා. හැබැයි මේ මලෛයගම් ජනතාව දෙස බැලුවොත් මේ කරුණුවලින් කුමන කරුණුද ඉටු වී තිබෙන්නේ. ඒ නිසා මේ සෑම ජන කණ්ඩායමකගේම මූලික අවශ්‍යතා ඉටු කර දීම අප රජයේ අභියෝගය සහ අප වෙත පැවරී තිබෙන වගකීම වෙනවා.
ඒ වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. එළැඹෙන අයවැය ලේඛනයේදීත් නිවාස ඉදිකිරීම වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජනතාවට හොඳ අදායම් මාර්ගයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි බොහෝ පියවර ගෙන තිබෙනවා. දැනටමත් අපි මෛලයගම් ප්‍රජාව වෙනුවෙන් වැටුප් වැඩි වීමක් ලබා දීමට සමත් වී තිබෙනවා. එය ප්‍රමාණවත් බව මම විශ්වාස කරන්නේ නැහැ. එහෙත් මූලික පියවර තබා තිබෙනවා.

ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අපි විශාල අවධානයක් යොමු කරනවා. සියවස් ගණනාවක් මේ ප්‍රජාව ගතකළ ජීවිතය ඔවුන්ගේ දරුවන්ට උරුම කර දීම යුක්ති සහගත වන්නේ නැහැ. වත්තේ ඉපදෙනවා, වත්තේ වැඩ කරනවා, වත්තේම මිය යනවා. එම ජීවිතයෙන් ඔවුන් එළියට ආ යුතුයි. එහිදී ප්‍රධාන වන්නේ අධ්‍යාපනයයි. ඒ නිසා මෙම දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර වැඩ කිරීමට අපි සූදානම්.
ඒ වගේම නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය පහසුකම් ලබා දිය යුතුයි. එය ආණ්ඩුවක් ලෙස අපේ වගකීමක්. අද අඩු බර දරු උපත් වැඩියෙන්ම සිදු වන්නේ, අවුරුදු 05ට අඩු මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින්නේ සහ ආයු කාලය අඩු ප්‍රජාවක් සිටින්නේ මෙම ජනතාව අතරයි.
ඒ නිසා සියවස් දෙකකට වැඩි කාලයක් කොන් කරන ලද, දෑස් හැර නොබලන ලද පාලනයන් විසින් මේ ජනතාව මේ තත්ත්වයට පත් කර තිබෙනවා. අපි ඔබට අපේම සහෝදර ජනතාවක් ලෙස මේ රටේ පුර්ණ අයිතිය සහ ජිවිතය ලබා දීමට කටයුතු කරන බවට මම සහතික වෙනවා.
අද මෙම ජනතාවගේ විශාල ප්‍රශ්නයක් බවට ඉඩම් ප්‍රශ්නය මතුව තිබෙනවා. වත්තේ වැඩ කළාට සමාගම් ඉඩම් ලබා දීමට සූදානම් නැහැ. එහෙත් මෙම සමාගම් සමග තිබෙන ගිවිසුම් 2042 වන විට අවසන් වීමට නියමිතව තිබෙනවා. දැනටමත් අමාත්‍යාංශය එම ගිවිසුම් පිළිබඳ පසු විපරම් කිරීම සඳහා කමිටුවක් පත් කර විමර්ශන කටයුතු සිදු කරමින් තිබෙනවා. අපි ඉතා ඉක්මණින් එම ගිවිසුම් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වු වගන්ති සමගයි එම ගිවිසුම් අත්සන් කිරීමට අපි කටයුතු කරනු ලබන්නේ.
විශේෂයෙන් මේ මධ්‍යම කඳුකරය අපේ රටේ හදවතයි. මේ මධ්‍යම කඳුකරයෙන් රූරා ගලන ගංගා සහ ඔයවල් 103ක් තිබෙනවා. අපේ කෘෂිකර්මාන්තය, පාරිසරික තත්ත්වය සහ ආර්ථිකයේ විශාල පංගුවක් නියෝජනය වන්නේ මේ මධ්‍යම කඳුකරයෙන්. ආසන්න වශයෙන් අපේ භූමියෙන් 13%ක් මේ මධ්‍යම කඳුකරයට අයත් වෙනවා. වාර්ෂික වර්ෂාපතනයෙන් 72%ක් පමණ මේ මධ්‍යම කඳුකරයට ඇඳ හැළෙනවා. අපේ රටේ වැදගත්ම තැන මේ මධ්‍යම කඳුකරයයි. නමුත් දීර්ඝකාලීන අවිධිමත් සංවර්ධනයේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිමින් සිටිනවා. පසුගිය දිට්වාවලදී ප්‍රධාන නායයෑම් 1200කට වැඩිය සිදු වූ බවට වාර්තා වී තිබෙනවා. අපි දශක කිහිපයකට පෙර නාය නොයන රටක් ගැන ඇහුවා. තව දශක කිහිපයකින් පසුව නාය යෑම් එකක්, දෙකක් ගැන අසන්නට ලැබුණා. අපි දැන් නායයෑම් දහස් ගණනක් ගැන අහනවා. එසේනම් මේ මධ්‍යම කඳුකරය අපේ දෑස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙනවා. අපේ රටේ ආරක්ෂාව සහ රටේ අනාගතයේ වැදගත් කොටසක් වන මෙම මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීම අපේ වගකීම වෙනවා. අපි දැනටමත් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව විශේෂ පනතක් සකස් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක් අපි පිහිටුවනවා. පැවති තත්ත්වයට පත් වීමට අපිට දශක ගණනාවක් ගත වේවි. හැබැයි විනාශයන් සඳහා තබන පියවර අපි නතර කළ යුතුයි. මේ සඳහා වගකීම් දරණ සියලු ආයතන සහ දෙපාර්තමේන්තුවල බලය අපි ඒකාබද්ධ කරනවා. මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමට අපි කටයුතු කරනවා. මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී එම පනත පාර්ලිමේන්තුවේ සම්මත කර අධිකාරිය පිහිටුවීමට කටයුතු කරනවා.
මධ්‍යම කඳුකරය සුවපත් කිරීමට නම් ජන ප්‍රජාවේ ගැටලු විසඳීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, පරිසර සංරක්ෂණ, වන සංරක්ෂණ, වනජීවි, වාරිමාර්ග, කෘෂිකර්ම ආදී මේ සියලු බලතල එක් අධිකාරියක් යටතට ගෙන ආ යුතුයි. අපි අනාගත පරපුර වෙනුවෙන් මේ මධ්‍යම කඳුකරය සුරක්ෂිත කළයුතුයි. ඒ සඳහා අපි යම් යම් කැපවීම් සිදු කරමින් මැදිහත්විය යුතුයි. ජාතික වගකීමක් සේ සලකා අපි මෙම කාර්යය ඉටු කළ යුතුයි.

එහිදී මෙම මලෛයගම් ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ප්‍රධාන වෙනවා. ඒ සඳහා ඉන්දියානු රජය අපිට දීර්ඝකාලීන සහායක් ලබා දෙනවා. ඒ පිළිබඳව අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. පසුගිය යුද සමයේදී රට හැර ගොස් ඉන්දියාවේ ජීවත් වන ජනතාවට යළි මෙරටට පැමිණීමට බාධා තිබුණා. එම සියලු බාධා ඉවත් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීන්දු කළා. ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ සියලු දෙනා අපේ රටේ පුරවැසියන්. මේ රටේ උපන් මිනිසුන්, මේ රටේ ආර්ථිකයට හවුල් වී මේ මහපොළොවට පස්වන මිනිසුන්. මේ සෑම දෙනාටම හොඳ ජීවිතයක් ලබා දිය යුතුයි. එම ජීවිතය උරුමකර දීමේ වගකීම රජයක් ලෙස අපි භාර ගෙන තිබෙනවා. අපේ අපේක්ෂාව ඔබට වඩා හොඳ ජිවිතයක් උරුම කර දීමයි, ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් උරුම කරදී මේ රට වඩා සුන්දර රටක් බවට පරිවර්තනය කිරීමයි. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරනවා.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු අපේ අමාත්‍යාංශයේ පළමු කාර්යය ලෙස අපි මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා සිදු කළා. ඒ අනුව අවශ්‍ය ප්‍රතිපාදන හොයාගෙන ආරක්ෂක අමාත්‍යාංශය සමග සාකච්ඡා කර මෙම නිවාස කඩිනමින් සහ ප්‍රමිතියෙන් යුතුව ඉදිකර දීමේ වගකීම ආරක්ෂක හමුදාවට භාර දුන්නා.
ඒ වගේම ඉදිකිරීම් ආරම්භ කර මෙතෙක් වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘති පිළිබඳව අපේ අමාත්‍යාංශයේ අවධානය යොමු කර තිබෙනවා. 2004 වසරේ ආරම්භ කර වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘති තැනින් තැන තිබෙනවා. අපි මේ නිවාස අදියරෙන් අදියර ඉදි කරමින් තිබෙනවා. 2004 වසරේ එනම් වසර 22කට පෙර ආරම්භ කළ ඇතැම් නිවාස ව්‍යාපෘති විවිධ ගැටලු නිසා අතරමග නැවතී තිබෙනවා. එහෙත් 2025 වසරේ ආරම්භ කර ඉතා කෙටි කාලයක් තුළ උසස් ප්‍රමිතියෙන් යුතුව මෙම නිවාස ඉදිකර ඔබට ලබා දීමට හැකි වීම පිළිබද අපි බෙහෙවින් සතුටු වෙනවා. විශේෂයෙන්ම මෙම කටයුත්තේදී කැපවී කටයුතු කළ අපේ යුද හමුදාවේ සහෝදරවරුන්ට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.
මලෛයගම් ජනතාව මේ රට සරු සාර කිරීම වෙනුවෙන් සිය දහදිය, කඳුළු වැය කරන ජන ප්‍රජාවක්. ඔවුන් මේ රටේ වැවිලි බෝග ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. පසුගිය වසරේ තේ අපනයනයෙන් අපි ඩොලර් බිලියන 1.5ක් ලබා ගෙන තිබෙනවා.
ජනාධිපතිතුමා ධූරයට පත් වීමට පෙර 2023 වසරේදී මලෛයගම් ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වීම නිමිත්තෙන් හැටන්වලට ගිහින් ඓතිහාසික හැටන් ප්‍රකාශනය නිකුත් කළා. එහිදී ප්‍රකාශ කළා අපේ රජයක් යටතේ මේ ජනතාවට ඔවුන්ගේ අයිතීන් ලබා දෙනවා කියලා. අද එය සංකේතවත් කරන අවස්ථාවක්. මෙය නිවසක් පමණක් නොවෙයි, ජනතාවට අභිමානයක්, අයිතියක්, ආරක්ෂාවක් සහ ජීවිතයක් ලබා දෙන අවස්ථාවක්. ඒ පිළිබඳ අපි සතුටු වෙනවා.
අපේ රජය බලයට පත්වීමට පෙර පසුගිය වසර 10ක් තුළ ආපදාවට පත්වු අය වෙනුවෙන් මේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදිකර දී තිබුණේ නිවාස 734ක් පමණයි. අපේ රජය බලයට පත්වී තවම වසර දෙකක් ගත් වුණේ නැහැ. එහෙත් අපි මේ වන විට මේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ නිවාස 4000කට වැඩි ප්‍රමාණයක වැඩ ආරම්භ කර තිබෙනවා. ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ නිවාස 10,000ක් ඉදිකරමින් තිබෙනවා. මම ඒ පිළිබඳ ඉන්දියානු රජයට ස්තූතිවන්ත වෙනවා.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා
අද කඳුකරයේ ජනතාවට පමණක් නොව මුළු රටටම සතුටු දායක දිනයක්. ආපදාවලින් පීඩාවට පත් කඳුකර ජනතාවට නිවසක හිමිකම ලබා දෙන සතුටුදායක දිනයක්. වත්මන් රජය කෙරෙහි කඳුකර ජනතාව විශාල විශ්වාසයක් තබා තිබෙනවා. මෙම කඳුකර ජනතාව වසර 200 කට වැඩි කාලයක් රැවටුණු ජනතාවක්. 2024 දී සිදු වූ දේශපාලන වෙනස අපගේ ජනතාවට යහපත් වෙනසක් සඳහා මග පෑදුවා. ඒ අනුව අද හැටන් ප්‍රකාශනයේ සඳහන් දේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අරගල, පෙළපාළි, උපවාස කිසිවක් නැතුව අද කඳුකර ජනතාවට වැටුප් වැඩිවීම් ලබා දී තිබෙනවා.
අද මෙහි ඉදිකර ඇති නිවාස සියල්ලම රජයේ වියදමින් ඉදිකරන ලද නිවාස බව කිව යුතුයි. මෙය ආරම්භයක් පමණයි, මෙතැන් සිට මෙම වැඩපිළිවෙළ කඳුකරය පුරා ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. සෑම පුරවැසියෙකුටම ඉඩමක අයිතිය සහිත නිවසක් ලබා දෙන බවට ජාතික ජන බලවේගයේ පොරොන්දුව අද ඉටු වෙමින් පවතිනවා.
මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ද, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් කුමාර හෙන්නායක, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ ජේ. එම්. කපිල ජයසේකර යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් Maitrey Kulkarni මහතා ඇතුළු විදේශීය නියෝජිතයන් සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-08-28

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යළිත් ආරම්භ කෙරේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය රජය සමයේ අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යලිත් ආරම්භ කෙරේ.....! ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, රාජ්‍ය ආයතන...

නැවතත් බොරු කියන්න ජනපති රට වටේ රැස්වීම් තියන්න හදනවා – විපක්ෂ නායක සජිත්

පසුගිය මැතිවරණ 03ටම පෙර වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරු කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවක් සඳහා රු. 150ක සහතික මිලක් රටේ නීතිය බවට...

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීත් හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්‍රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්3...

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img