–
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා
වත්මන් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ පවතින අසාර්ථකත්වය සහ නොහැකියාව හේතුවෙන් රට යළිත් 2022 වසරේ මුහුණ දුන් දැඩි ආර්ථික අර්බුදය හා බංකොලොත්භාවය කරා වේගයෙන් ගමන් කරමින් තිබෙනවා.
පාලකයන්ගේ නොහැකියාව වසා ගැනීමට ත්‍රස්තවාදී පනත් හරහා විරෝධතා මර්දනය කිරීමේ ප්‍රවණතාවක් මතුව තිබෙනවා. මෑතකදී විහාරමහාදේවි උද්‍යානයේ සහ අනුරාධපුර ප්‍රදේශයේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එරෙහිව පොලිසිය සහ ඇතැම් පිරිස් විසින් සිදු කරන ලද ම්ලේච්ඡ ප්‍රහාර අප දැඩි ලෙස හෙළා දකිනවා.
මේ මර්දනකාරී වැඩපිළිවෙළ නිසා GSP+ බදු සහනය පවා අහිමි වී ඇඟලුම් කර්මාන්තය ඇතුළු අපනයන ක්ෂේත්රය දැඩි අනතුරකට ලක්වීමේ
අවධානමක්ද දැන් මතුව තිබෙනවා. එසේම රටේ සමස්ත පොදු ණය තත්ත්වය අතිශය භයංකාර ලෙස ඉහළ ගොස් තිබෙනවා.
රුපියල් ට්‍රිලියන 29.5 ක් වූ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය මේ වන විට ට්‍රිලියන 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දේශීය ණය ප්‍රමාණය ට්‍රිලියන 18 සිට ට්‍රිලියන 19 දක්වා වැඩි වී තිබේ. ට්‍රිලියන 11.5 ක් වූ විදේශ ණය ප්‍රමාණය මේ වන විට ට්‍රිලියන 12.7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
විවිධ බදු වර්ග 12 ක් ඉහළ නැංවීම හේතුවෙන් මෙරට මධ්‍යම පන්තිය 72% සිට 57% දක්වා පහත වැටී තිබෙනවා. එසේම ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම බදු ගෙවන රටක් ලෙස මේ වනවිට ජාත්‍යන්තර වාර්තා අතරට එක්ව තිබෙනවා. උද්ධමනය ආසියාවේ ඉහළම රටවල් අතරට පැමිණ ඇති අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලින් 75% ක් පමණ මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී ඇත. මීට අමතරව, කොටස් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 171 ක ආයෝජන ඉවත් කරගෙන ඇති අතර, මෙගා සංවර්ධන ව්‍යාපෘති රැසක් ද රටින් ඉවත්ව යමින් පවතිනවා. මෙය අතිශය කණාගාටු තත්ත්වයක් බව සිහිපත් කළ යුතුයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය සමයේ අඩුව තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඉන්ධන මිල ගණන් වත්මන් පාලනය යටතේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා රට බාරදෙන විට රු. 320 ට තිබුණු ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරය අද රු. 424 දක්වාරු. 104 කින් වැඩිව තිබෙනවා. රු. 377 ට තිබුණු ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරය අද රුපියල් 490 යි.
රු. 304 ක්ව තිබුණු ඩීසල් ලීටරය රු. 397 දක්වා රු. 90 කින් වැඩි වෙලා. රු. 3690 ට තිබුණු ගෑස් සිලින්ඩරය අද රු. 4365 යි. රු. 292 ට තිබුණු ඇමරිකානු ඩොලරයේ මිල රු. 330 ඉක්මවා ඉහළ ගිහින්.
මේ ආර්ථික දත්ත සහ අර්බුදකාරී තත්ත්වය මගහරවා ගැනීමට නිසි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකළහොත්, ඉදිරි මාස කිහිපය තුළ රට යළිත් 2022 වසරේ අත්දැකපු අඳුරු ආර්ථික අගාධයට සහ බංකොලොත්භාවයට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත. මේ මාධ්‍ය හමුව සඳහා නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ භාණ්ඩාගාරික ශිරාස් යූනුස් මහතාද සහභාගි විය.






















