මැතිවරණ කාලවලදී අපේක්ෂකයින් ලබාදෙන පොරොන්දු විශ්වාස කිරීමට පෙර ඔවුන්ගේ ඉතිහාසය ගැන සොයන්න…..
– ශ්‍රී.පො.පෙ.නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මිනුවන්ගොඩදි
මැතිවරණ කාලවලදී අපේක්ෂකයින් ලබාදෙන පොරොන්දු විශ්වාස කිරීමට පෙර ඔවුන්ගේ ඉතිහාසය සම්බන්ධයෙන් විමසිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (2020.07.28) ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශය පැවති හමුවක් අමතමිනි.
මැතිවරණ කාලවලට පමණක් ජනතාව හමුවට පැමිණ යම් යම් පොරොන්දු ලබාදෙන අපේක්ෂකයන් ඉතිහාසය පුරා ජනතාව හමුවේ දුන් පොරොන්දු ඉටුකර ඇත්දැයි විමසා බැලීම මගින් ඔවුන් සැබැවින්ම ජනතා සේවකයින් ද යන්න තහවුරු කර ගැනීමේ හැකියාව ඇති බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය වූ ආකාරය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කිරීමේදී මෙන්ම පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමේදීත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව විශාල සහයෝගයක් ලබා දුන් බවයි.
ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට ,දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවටත්, පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවටත් නිදහසේ ගමන් කිරීමේ හැකියාව බිහිකළ සිය රජයක් යටතේ රටේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ ත්රස්තවාදීන්ගේ සියලු තොරතුරු ආණ්ඩුවට ලැබී තිබියදිත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට උත්සාහ නොකළ යහපාලන රජයේ නොසැලකිල්ල නිසා ජනතාවට ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බවයි.
ත්රස්තවාදයට නැවත හිස ඒසවිමට ඉඩ නොතබන බව කී අග්‍රාමාත්‍යවරයා ප්රභාකරන්ට තුවක්කුවෙන් ගන්න බැරි වුණු දේ පෑනෙන් ලියා දෙන්න කිසිවෙකුට ඉඩ නොතබන බවද වැඩිදුරටත් සඳහන් කලේය.
මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.

























