ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ අතර මතගැටුමක් ?
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අගෝස්තු 12 වැනිදා මහනුවර ශ්‍රි දළදා මාලිගාවේ මගුල් මඩුවේ දී දිවුරුම්දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
එම අමාත්‍ය මණ්ඩලය කැබිනට් අමාත්‍යවරුන් 26කට සීමා කෙරෙන බව වාර්තා වේ.
මේ අතර, අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව නම් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
09 වන පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (08) රාත්‍රී නිකුත් කෙරුණි.
ඒ අනුව, එක් එක් දිස්ත්‍රික්කවලින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තේරී පත්වුණු මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසම විසින් අදාළ ගැසට් නිවේදනයට ඇතුළත් කර තිබේ.
මෙවර මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වූ මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාද මන්ත්‍රීවරයෙක් ලෙසට නම් කරමින් මෙම ගැසට් නිවේදනයට ඇතුලත් කර තිබීමද විශේෂත්වයකි.
එමෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇත.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර කඩිනමින් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් පොරොන්දු වූ ආකාරයට සමගි ජන බලවේගය තම පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ලබා නොදෙන්නේ නම්, රාවුෆ් හකීම් මහතාගේ රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ තමාගේ පක්ෂයේ මන්ත්‍රිවරු 15 දෙනෙකු සමග ස්වාධීන වන බව මනෝ ගනේෂන් මහතා පවසයි.
ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ නිසි තීරණය ගැනීම සඳහා සමගි ජන බලවේගයට හෙට (10) දක්වා කල් ලබා දෙන බවය.
මහ මැතිවරණයෙන් කිසිදු ආසනයක් එක්සත් ජාතික පක්ෂයට හිමි නොවූවත් ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් හිමිවන මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් හෙට දින සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.






















