මීගලෑව ගොවීන්ගේ ජල ගැටළුව මහවැලි අධ්යක්ෂ ජනරාල් සොයා බලයි
ජලය ප්‍රමාණවත් පරිදි තිබියදීත් මහවැලි නිලධාරීන් නිසි පරිදි ජලය නිකුත් නොකිරීමෙන් මහවැලි “එච්” කලාපයේ මීගලෑව ගොවීන්ගේ යල කන්නයේ වගා කටයුතු ඇණහිටි බවට ගොවීන් පිරිසක් ඊයේ (08) චෝදනා කළේය.
කෙසේ වෙතත් මීගලෑවට අද (09) පැමිණ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමෙන් අනතුරුව මහවැලි අධ්යක්ෂ ජනරාල් බී.ඒ.එස්.එස්. පෙරේරා මහතා පැවසුවේ යල කන්නයේ දී ප්‍රමාණවත් පරිදි ගොවීන්ට ජලය නිකුත් කර ඇති බවය.
කලා වැවෙන් පෝෂණය වන ගල්ගමුව මීගලෑව ගොවීන්ට යල කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි ජලය නිකුත් නොකිරීම නිසා එහි වගා කටයුතු ඇණහිට තිබුණි.
ගල්ගමුව මීගලෑව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් ඒ පිළිබඳව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට පියවර ගැනීමෙන් පසු එම ගොවි ජනතාවට අවශ්‍ය ජලය නිකුත් කරන්නැයි ජනාධිපතිවරයා මහවැලි අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබුණි.
ජනාධිපතිවරයා උපදෙස් දුන්නද බලධාරීන් තමන්ට නිසි පරිදි ජලය නිකුත් නොකළ බවට ගොවීන් ඊයේ දිනයේත් චෝදනා කර සිටියේය.
කෙසේ වෙතත් මෙම ගැටලුව පිළිබඳව සොයා බැලීම සඳහා මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් බී.ඒ.එස්.එස් පෙරේරා මහතා අද මීගලෑව ප්‍රදේශයට පැමිණ ගොවි සංවිධාන නියෝජිතයින් සහ මහවැලි නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත විය.
කෙසේ වෙතත් සාකච්ඡාවෙන් පසු ප්‍රදේශයේ හිමිනමක් සහ තවත් ගොවීන් පිරිසක් එම ස්ථානයට පැමිණියේය.
ඔවුන් චෝදනා කළේ සියලු ගොවීන් නියෝජනය නොවන පරිදි එම සාකච්ඡාව පැවැත්වීමෙන් ගොවීන්ගේ සැබෑ ගැටලු අධ්යක්ෂ ජනරාල්වරයාට දැනුම් දීමට අවස්ථාවක් හිමි නොවුණු බවය.






















