අධිකරණයට ආ හෝමාගම ප්රාදේශීය සභාවේ සෙවිලි තහඩු මිලදී ගැනීම
හෝමාගම ප්රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතාගේ ධුරය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.
හෝමාගම බදු ගෙවන්නන්ගේ සංගමයේ සභාපති ගමගේ විජේරත්න මහතා විසින් ගොනු කර ලද පෙත්සමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ප්රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් එම නොතීසි නිකුත් කිරීම සිදු කළේය.
ඒ අනුව ඔක්තෝබර් මස 06 වන දා මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, හෝමාගම ප්රාදේශීය සභාව, එම ප්රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ, එම ප්රාදේශිය සභාවේ ලේකම්, බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් සහ පළාත් පාලන සහකාර කොමසාරිස් යන අය වෙත නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.
අදාළ පෙත්සම මඟින් පෙත්සම්කරු කියා සිටින්නේ 2019 වසරේ හෝමාගම ප්රාදේශීය සභා බල ප්රදේශය තුළ පදිංචි අඩු ආදායම් ලාභීන් අතර බෙදාදීම සඳහා වගඋත්තරකාර හෝමාගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සෙවිලි තහඩු 1040ක් මිලදී ගෙන ඇති බවත් එම සෙවිලි තහඩු මිලදී ගැනීමේදී එක් තහඩුවකින් රුපියල් 380/-ක වංචාවක් සිදුකර ඇති බවත්ය.
මෙම මිලදීගැනීමේ ක්රියාවලිය තුළ අවිධිමත්භාවයක් පෙන්නුම් කරන බව වගඋත්තරකාර පළාත් පාලන සහකාර කොමසාරිස් විසින් සිදුකළ විමර්ශණයකින් ද කරුණු අනාවරණය වී ඇතැයි ද පෙත්සම්කරු අධිකරණය හමුවේ ප්රකාශ කළේය.






















