විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 27(2) යටතේ අද(21) අසන ලද ප්රශ්නය .
සියලුම රැකියා විරහිත උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගැනීම පසුගිය ජනාධිපතිවරණ සමයේදී රජය විසින් ලබා දුන් මැතිවරණ පොරොන්දුවකි. ඒ අනුව ජනාධිපතිවරණ ජයග්රහණයෙන් අනතුරුව 2020.02.07 දින ප්‍රසිද්ධ දැන්වීමක් හරහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීමට රජය කටයුතු කරනු ලැබූ අතර ඉන් අනතුරුව 2020 පෙබරවාරි අවසන් සතියේදී උපාධිධාරීන් වෙත පුහුණුවට කැඳවීමේ ලිපි නිකුත් කිරීමටත් දින තුනක් ඇතුළත ඔවුන්ට සේවයට වාර්තා කරන ලෙසට උපදෙස් ලබා දීමටත් රජය විසින් කටයුතු කරනු ලැබුවා.
- කෙසේ වුවද, මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත්වීම මත ඔවුන් සේවයට වාර්තා කිරීම තාවකාලිකව අත්හිටවූ අතර නැවත පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව 2020.08.14 දින ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් ඔවුන් නැවත සේවයට කැඳවා තිබෙනවා. නමුත් 2020.08.16 දිනැතිව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද නිවේදනයක් අනුව පුහුණුව සඳහා සුදුසුකම් නොලබන උපාධිධාරීන් වශයෙන් උපාධිධාරීන් 40092 කගේ නම් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.
- උපාධිධාරීන් නුසුදුස්සන් කිරීමට, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් උපාධිය පිළිනොගැනීම, සේවක අර්ථසාධක අරමුදලේ නම් සඳහන් වීම, විවිධ ලේඛන අයදුම්පත්‍රය සමග අමුණා නොතිබීම වැනි හේතු දක්වා තිබෙනවා. මෙලෙස විවිධ හේතු දක්වා තිබුණද, උපාධි සුදුසුකමක් වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන විවිධ අර්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධිධාරීන්ද, උපාධි සුදුසුකමක් වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් ද, දැනට පෞද්ගලික අංශයේ රැකියාවක් නොකරන නමුත් පෙර රැකියාවක නිරතවීම හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදලේ නම් සඳහන් වී ඇති උපාධිධාරීන්ද, සුදුසුකම් නොලබන උපාධිධාරීන්ගේ ලේඛනයට ඇතුලත් වී ඇති බවට මේ වන විට වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දීර්ඝ කාලයක් යුද්ධය මෙන්ම විවිධ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පීඩා විඳි උපාධිධාරීන් විශාල ප්‍රමාණයක්ද මෙම ගැටළුවට මුහුණ පා තිබෙනවා. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් 2020.08.18 දින විරෝධතාවයක් සංවිධානය කිරීමට කටයුතු කරන ලද්දේද ඒ අනුවයි.
- මෙහි ඇති බරපතළම කාරණය වන්නේ සුදුසුකම් නොලබන උපාධිධාරීන් වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති ලේඛනයේ, උපාධිධාරීන් අතර 2020 පෙබරවාරි මාසයේ පුහුණුවට කැඳවීමේ ලිපි ලබා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට වාර්තා කරන ලද උපාධිධාරීන් විශාල ප්රමාණයකගේ නම් ද ඇතුළත් වී තිබීමයි. උදාහරණයක් වශයෙන් සේවයට වාර්තා කරන ලද උපාධිධාරීන් 10,000 කට ආසන්න ප්රමාණයකගේ පත්වීම්, සේවක අර්ථසාධක අරමුදලේ දායකයින් වී තිබීමේ හේතුව මත පමණක් අවලංගු කොට තිබෙනවා. මේ වන විට ඔවුන් කිසිදු රැකියාවක් නොමැතිව අන්ත අසරණභාවයට පත් වී තිබෙනවා. එසේම, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන ඩිප්ලෝමාවක් මේ සඳහා වලංගු වන බව අයදුම්පත්‍ර කැඳවීමේ නිවේදනයේ ඉතාම පැහැදිලිව දක්වා තිබෙනවා. වලංගු වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල උපාධියක් පමණක් බවට කිසිදු සඳහනක් අයදුම්පත්‍ර කැඳවීමේ නිවේදනයේ සඳහන් කොට නොමැත. එසේම, සේවක අර්ථසාධක අරමුදලේ නම සඳහන් වීම උපාධිධාරී පුහුණුව ලැබීමට නුසුදුසුකමක් වන බවට කිසිදු සඳහනක් ද අයදුම්පත්‍ර කැඳවීමේ නිවේදනයේ සඳහන් කොට නොමැත.
- මේ සියලු කරුණු පිළිබඳව පරීක්ෂා කිරීමේදී ඉතා පැහැදිලිව පෙනී යන කාරණයක් වන්නේ රජය විසින් කඩිමුඩියේ පුහුණුවට කැඳවීමේ ලිපි නිකුත් කොට මැතිවරණයෙන් අනතුරුව ඔවුන්ට සේවය කිරීමට අවස්ථාව ලබා නොදී ඔවුන් රැවටීමට ලක් කොට ඇති බවයි. මේ පසුබිම යටතේ ජාතික වැදගත්කමකින් යුත් කරුණක් වශයෙන් සළකා පහත ප්‍රශ්න සඳහා පිළිතුරු හා පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙමි.
- 2020.02.07 දිනැති නිවේදනය මගින් කැඳවන ලද අයදුම්පත්‍ර අනුව පුහුණුවට කැඳවීමේ ලිපි නිකුත් කරන ලද උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද?
- එලෙස පුහුණුවට කැඳවීමේ ලිපි නිකුත් කරන ලද උපාධිධාරීන් අතුරින් මේ වන විට සේවය අවසන් කොට ඇති උපාධිධාරීන්ගේ සංඛ්‍යාව රජය විසින් නිශ්චිතව සඳහන් කරන්නේද?
- අයදුම්පත් කැඳවීමෙන් අනතුරුව කඩිමුඩියේ පත්වීම් ලිපි නිකුත් කොට පාර්ලිමේන්තු මැතිවරණය ඉල්ලක කොට ගෙන උපාධිධාරීන් රැවටීමේ අරමුණින් ඔවුන්ට සේවයට වාර්තා කිරීමට සලස්වා පසුව ඔවුන්ගේ සේවය අහිමි කිරීමට කටයුතු කොට ඇති බව රජය විසින් පිළිගනු ලබන්නේද? නොඑසේ නම් ඒ මන්ද?
- උපාධියට සරිලන රැකියාවක් ලැබෙන තෙක් පෞද්ගලික අංශයේ කුමන මට්ටමක හෝ රැකියාවක නිරත වී ජීවන වියදම පියවා ගැනීම ඉතාම මානුෂීය කාරණයක් බවත්, එය උපාධියට සරිලන රජයේ රැකියාවක් ලබා ගැනීමට නුසුදුසුකමක් නොවන බවත් රජය විසින් පිළිගනු ලබන්නේද? නොඑසේ නම් ඒ මන්ද?
- විවිධ පෞද්ගලික ආයතනවල සේවය කරන ලද උපාධිධාරීන් හට පත්වීම් ලිපි ලබා දී මාස ගණනාවකින් අනතුරුව එම පත්වීම් අවලංගු කිරීම හේතුවෙන් ඔවුන් නිරත වී සිටි රැකියාව මෙන්ම රජයේ රැකියාවද අහිමිවීම තුළින් ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බව රජය විසින් පිළිගනු ලබන්නේද?
- මෙලෙස අසාධාරණයට ලක්වූ උපාධිධාරීන් හට නැවත සේවය ලබා දීමට රජය කටයුතු කරන්නේද? එසේ නම් ඒ කවදාද?
- පත්වීම් ලිපි නිකුත් නොකොටම ප්‍රාදේශීය ලේකම් අනු අත්සන නොමැති වීම, උපාධි සහතිකය අමුණා තිබුණද ප්‍රතිඵල ලේඛනය අමුණා නොතිබීම වැනි සුළු හේතු මත නුසුදුස්සන් බවට පත් කොට ඇති උපාධිධාරීන් සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද?






















