ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීම සිදුකළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එම දත්ත පවත්වාගෙන ගිය ‘එපික් ලංකා ටෙක්නොලොජීස්’ ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා එළඹෙන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් එම සැකකරු අද (29) දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එම නියෝගය ලබාදී ඇත.
ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, එම අපරාධය සිදුකර ඇති ආකාරයෙහි පවතින සූක්ෂමභාවය සහ විමර්ශනවල සංකීර්ණභාවය සලකා බැලීමේදී වැඩිදුර විමර්ශනය කිරීම සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය බව හැඟී යන බවය.
ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවද මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
සැකකරු සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
එහෙත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහු ඇප මත මුදාහරින්නැයි ඉල්ලා සිටියේය.
සැකකාර ඉංජිනේරුවරයා ඊයේ (28) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දිවුලපිටියේ, වැල්ලපිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුණි.






















