එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා (22) දින පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය
මහජන නියෝජිතයින් වගකීම් පැහැර හැරීම ජාතියට කරන මහා අපරාධයක්
ගරු කතානායකතුමනි අද දවසත් ඊයේ දවසත් අපි බලාගෙන හිටියා ජාතියක් බෙදෙන හැටි, ජාතියක් විනාශ වෙන හැටි, ඒ ගැන බොහොම කණගාටුයි කතානායකතුමනි, කෙසේ හෝ වර්තමාන අපේ විපක්ෂනායකතුමාත්, මමත්, ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාත්, ගයන්ත කරුණාතිලක මැතිතුමාත්, ඉදිරිපෙලේ ඉන්න අපේ රවුෆ් හකීම් මැතිතුමාත්, මේ බෝම්බය යනකොට කැබිනට් මණ්ඩලයේ හිටපු සමාජිකයෝ.
ඊළඟ පේලියේ ඉන්න අපේ අනික් අයත් අපේ ආණ්ඩුවේ හිටපු නියෝජිතයෝ, මේ නියෝජිතයෝ එදා කරපු කතා ටික මගේ අතේ තියෙනවා. මම අද අපේ මහජන නියෝජිතයින්ට බෙදලා දුන්නා, ඒ ටික පොඩ්ඩක් කියවලා බලන්න කියලා. එදා ආණ්ඩුවේ සිට කියපු කරුණු ටික.
මම ඇතුලු ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටි 40 කට ආසන්න පිරිසක් බෝම්බය පිපුරුණු දිනට පසු දින කතා කරලා තිබුණා. සමහර අය එදත් අදත් එකම කතාව කරනවා. අපේ මිත්‍ර විපක්ෂ නායකතුමා එදා කතා කරලා තිබුණේ නැහැ. එතුමා කතා කරලා තිබුණා 2021.03.25 වෙනිදා. අපේ මහජන නියෝජිතයින්ට දැනගැනීම සඳහා එයත් සභාගත කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම 2022.04.21 අපේ විපක්ෂනායකතුමා එදා විපක්ෂයට ආවට පස්සේ නැවත කතා කරලා තිබෙනවා, ඒකත් සභාගත කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
ගරු කතානායකතුමනි,
විපක්ෂනායකතුමා සඳහන් කළ සොනික් සොනික් බී වාර්තාව ඒක මගේ අතේ තිබෙනවා, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 13100/19 2020.04.29 වන දින නඩු වාර්තාවත් සභාගත කරන්න කියලා මම ඉල්ලන්න කැමතියි. ඒ වගේම ට්‍රොපිකල් තානායමේ සිදුවුණු කාරණය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව ගැන සදහන් කළා. ඒකත් සභාගත කරන්න කියලා මම ඉල්ලන්න කැමතියි. එතුමාගේ කතාවෙන් පැන නැගුණු බුද්ධි අංශයේ සහරාන් සම්බන්ධයෙන් තොරතුරු ලියකියවිලිත් සභාගත කරන්න කියලා මම ඉල්ලනවා.
ප්‍රථමයෙන් මම කියන්න කැමතියි අපේ විපක්ෂයේ ඉන්න ගරු එරාන් වික්‍රමරත්න මැතිතුමා ගැන, එතුමා 2019.04.24 වන දින ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ කතාව ඉතාම වැදගත්. මොකද එතුමාගේ කතාව එතුමා අවසන් කරන්නේ, 2014 සිට මේ වගේ ත්‍රස්තවාදී ප්‍රහාර රටවල් 144 න් 30 කම සිදුව තිබෙනවා. ඒවායින් 2350 කට වැඩි ජීවිත ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා. ඒ වගේම එතුමා අවසානයේ කියනවා, ඒ නිසා අපි සියලුදෙනාම එකට එකතු වෙලා මේ ප්‍රශ්නයට මුහුණදීලා මේක අවසන් වෙන තැනකට ගෙනියන්න අවශ්‍යයයි කියලා. එ් ගැන මම අදටත් ස්තූතිවන්ත වෙනවා. මේ කතාව අවශ්‍ය නම් එතුමාට ලබාදෙන්න පුලුවන් නැවත මතක් කරගන්න.
එතුමාගේ යෝජනාව ඉතා වැදගත්. එදා බෝම්බය පිපිරුණු වෙලාවේ ඔබතුමා දරණ මතය ඉතා වැදගත්. මේ බෝම්බය පිපිරුණු වෙලාවේ මම කරපු කතාවත් මම නැවත කියවලා බැලුවා. එදත් අදත් මම කියලා තියෙන්නෙත් එකම කතාවද කියලා.
මම අපේ ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජතයින්ට කිව්වා පසුගිය අවුරුදුවල සිදුකළ කතා සහ අද සිදුකරන කතා ගැලපෙනවද කියලා බලාගන්න කියලා. ඒ නිසා කෙසේ හෝ මගේ කතාවේ අදහස් කියන්න කලින් මම තව එක කාරණයක් නිරාකරණය කරගන්න කැමතියි. මම සමහර කාරණ එදා කතා කරලත් නැහැ. එවකට ආගමන විගමන අමාත්‍යවරයා ලෙස රාජකාරී කරන අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් විශාල සම්බන්ධයක් ගොඩ නැගුණා. බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ සමග වැඩ කළා. ඒ කිසිම කාරණයක් මම එදා සඳහන් කළෙත් නැහැ. අද සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මොකද ඒක ජාතියට අහිතකරයි කියලයි මම විශ්වාස කරන්නේ.
බුද්ධි අංශයක ක්‍රියාවලිය හොඳ වුණත් නරක වුණත් ඒ දේවල් කතා කරන එක මම හිතනවා රටට අහිතකරයි කියලා මම හිතනවා. ඒ නිසා එදා මට මතකයි මම විශේෂයෙන් ආගමන විගමන අමාත්‍යවරයා ලෙස සිටින විට මේ කර්තව්‍ය සදහා විශාල සහයෝගයක් ලබාදෙන්න පුලුවන් වුණා ගුවන් තොටුපළත්, ඒ වගේම ආගමන විගමන අංශයේ තිබුණු තොරතුරු පද්ධතියත්, ඒ වගේම ආගමික අන්තවාදීන්ගේ තිබුණු ක්‍රියාවලියේ කොටසුත් බුද්ධි අංශයට එකතු කිරීමට එදා අපිට අවස්ථාව ලැබුණා. ඒ කාරණා අපි කවදාවත් හැන්සාර්ඩ් එකට ඇතුලු කරෙත් නැහැ. ඇතුලු කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.
මම තව එක කාරණයක් නිවැරදි කරගන්න ඕන. මා මිත්‍ර චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා මගේ ගැන සඳහන් කරලා කාරණයක් කියලා තිබුණා. මම හිතුවා මේ වෙලාවේ ඒ කාරණයත් නිරාකරණය කරගත යුතුයි කියලා.
හැන්සාර්ඩ් තීරු අංක 1073 එතුමා සඳහන් කර තිබුණා,
ගරු කථානායකතුමනි, දැන් මේ රටට ඇවිල්ලා ඉන්නවාලු ISIS සංවිධානයේ බෝම්බකරුවන් ඒක වජිර අබේවර්ධන මන්ත්‍රීතුමා දන්නවා. හැබැයි ඒ අය අත්අඩංගුවට ගත්තේ නැත්තම් තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා මිනිස්සු මැරෙයි. ඒක ආණ්ඩුවක් ගන්න Plan එකක්ද කියලා අපි අහනවා. ඒ ISIS ත්රස්තවාදීන් අත්අඩංගුවට ගන්න. “
ඒ කාරණය මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මම කිසිම තැනක මේ සම්බන්ධයෙන් කරුණු ප්‍රකාශ කරලා නැහැ.
නැවත එම කාරණයම උපුටා ගෙන හිටපු මන්ත්‍රී මුජිබර් රහුමාන් මැතිතුමාත් ප්‍රකාශයක් කර තිබුණා එයත් මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම අපේ මිත්‍ර හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයක් ප්‍රකාශයක් කර තිබුණා, එය තීරු අංක 1135 සඳහන් කර තිබුණා, එයත් මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
ගරු මන්ත්‍රීතුමනි,
විශේෂයෙන්ම මම සඳහන් කරපු කාරණය 2019 ත් බෝම්බය පිපිරුණු අවස්ථාවේත් සඳහන් කර තිබෙනවා. ඒ කාරණය තමයි විශේෂයෙන් මානසික ත්‍රස්තවාදය පාලනය කිරීමේ ක්‍රියාවලිය, උදාහරණයක් විදිහට ගත්තොත් දොරෙයි අප්පා ඝාතනය කළාම 1978 අංක 16 දරණ ද්‍රවිඩ ලංකා විමුක්ති කොටි හා වෙනත් සමාන සංවිධාන තහනම් කිරීමේ පනත 1978 මැයි 26 වෙනිදා මේ පාර්ලිමේන්තුවට ගෙනත් තිබෙනවා දොරෙයිඅප්පාගේ මරණයෙන් පස්සේ.
එතැන් සිට ත්‍රස්තවාදය පාලනය කිරීමේ පනත් විශාල ප්‍රමාණයක් ගෙනත් තිබෙනවා. අවසානයේ අපිට මතකයි අපේ විරුද්ධ පක්ෂයේ ඉන්න මහජන නියෝජිතයින්ට කැබිනට් මණ්ඩලයේ හිටපු අයට අපි මේ මානසික ත්‍රස්තවාදය පාලනය කිරීම සඳහා එදා පනතක් ඉදිරිපත් කළාම මම කැබිනට් මණ්ඩලයේ ඉදන් ඡන්දය ලබාදී තිබෙනවා. මා මිත්‍ර විපක්ෂ නායකතුමා ඇතුලු ඇතැම් අයත් ඡන්දය ලබාදී තිබෙනවා, ඇතැම් අය ලබාදී නැහැ සභාවේ හිටපු නැති නිසා.
දැන් මේ ත්‍රස්තවාදය පාලනය කිරීම ඉතා වැදගත්. උදාහරණයක් හැටියට ගත්තම අපි ස්තූතිවන්ත වෙන්න ඕන මේ ත්‍රස්තවාදී ක්‍රියාව සම්බන්ධයෙන් අධි චෝදනා 41 ක් ගොනු කර තිබෙනවා. ඒ එක්කම චූදිතයින් 71 දෙනෙකුට විරුද්ධව නඩු පවරලා තිබෙනවා. ඒ එක්කම ත්‍රිපුද්ගල මහා අධිකරණයේ 25 දෙනෙකුට අධි චෝදනා පත්‍ර බාර දී තිබෙනවා.
අපි මේකට ක්‍රියා කළ සියලු නිධාරීන්ට ඇත්තවශයෙන්ම ස්තූති වෙන්න ඕන, වසර ගණනාවක් මේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු කාරණා අධිකරණ කටයුත්තක පවතිනවා. ත්රිපුද්ගලික මහා අධිකරණයක් මේ සඳහා ක්‍රියා කරමින් ඉන්නවා. විපක්ෂ නායකතුමා කියපු සියලුම කාරණා එතුමා කැමතිනම් ත්‍රිපුද්ගල අධිකරණයට ලබාදෙන්න පුලුවන්. ඒක ඉතා වැදගත්. තවදුරටත් හංගන්න දෙයක් නැහැ. ජාතියට මේ ගැන ප්‍රකාශ කළ යුතුව තිබෙනවා.
මට මතකයි බෝම්බය පුපරපු දවස, මට මතකයි අගමැතිතුමා සමග ආරක්ෂක අමාත්‍යංශයට යනවා. එතැනදී මම දැක්කා අගමැතිවරයෙක් කොයිතරම් ඉවසීමකින් කටුයුතු කරනවද කියලා, ආරක්ෂක මණ්ඩලය රැස්වෙලා තිබෙනවා. නමුත් අගමැතිතුමන්ට දොර විවෘත වෙන්නේ නැහැ. එළියේ කාමරයක අපි වාඩිවෙලා ඉන්නවා, විනාඩි 20 ක් 25 ක් පමණ. කමක් නෑ. මේක තමයි අපේ දේශපාලනේ ස්වභාවය. මේ සෙල්ලම අපි නැවැත්විය යුතුයි. ඊර්ෂ්‍යාව, කුහකකම, ක්‍රෝධය, තණ්හාව මේවා නවත්ව ගන්න තිබෙනවා. මම ඒත කල්පනා කළ අපි වගේ කෙනෙක් නම් දොර ඇරගෙන ගිහින් ඇතුළින් වාඩි වෙනවා.
ආරක්ෂක අංශයෙන් කෙනෙක් ඇවිත් කියනවා, ඔබතුමා දැනට පොඩ්ඩක් ඔහොම එළියෙන් ඉන්න කියලා. විනාඩි 20 ක් 25 ක් ඉවසීමෙන් එතුමා ඉන්නවා. ත්‍රිවිධ හමුදාපතිවරුත්, ආරක්ෂක ලේකම්තුමාත්, පොලිස්පතිතුමාත්, අනෙකුත් අංශත් එතැන හිටියා. දේශපාලන අධිකාරියේ කවුරුවත් හිටියේ නැහැ. අපි ගිහින් එළියේ කාමරේ ඉන්නවා. කමක් නෑ. එළියේ කාමරේ ඉදන් හරි ජාතියේ යුතුකම ඉෂ්ඨ කළ යුතුව තිබෙනවා.
අග්‍රාමාත්‍යතුමා විසින් නැවත එම නිධාරීන්ව අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවාගෙන මෙම ත්රස්තක්රියාව මැඩපැවැත්වීම සඳහා උපදෙස් ලබාදෙන විට අනෙක් ත්රස්තවාදීන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සියදිවි හානිකර ගැනීම් සිදුකරගෙන තිබුණා. මෙවැනි අවස්ථාවක කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙනවා.
අපි එකක් මතක තබා ගත යුතුයි. අපි අපේ බුද්ධි අංශය ආරක්ෂා කල යුතුව තිබෙනවා. අපේ බුද්ධි අංශයේ දක්ෂකම් කතා නොකළ යුතුයි. බුද්ධි අංශයේ රහස් තොරතුරු අපි කතා නොකළ යුතුයි. දැන් මගේ අතේ තිබෙනවා ලෝකයේ තිබෙන රහස් ඔත්තු සංවිධාන. උදාහරණයක් විදිහට ගත්තම ඉන්දියාවේ RAW ඔත්තු සේවය. වෙබ් සයිට් එකට ගිහින් බලන්න මුකුත් හොයා ගන්න බැහැනේ. ඒක ජාතික ආරක්ෂාවේ වැදගත් සිද්ධාන්තයක්.
බලන්න ඇමරිකාවේ CIA එක. වෙබ් සයිට් එකට ගිහින් බලන්න මුකුත් හොයා ගන්න බැහැ. බලන්න ජර්මනියේ BNT හොයාගන්න බැහැ. බලන්න චීනයේ MSS හොයාගන්න බැහැ. බලන්න ඊශ්‍රායලයේ මොසාඩ්, හොයාගන්න බැහැ කිසිම කාරණයක් හොයාගන්න බැහැ.
බලන්න එංගලන්තේ SIS හොයාගන්න බැහැ. බලන්න පකිස්ථානේ ISI හොයාගන්න බැහැ, බලන්න රුසියාවේ FIS මුකුත් හොයාගන්න බැහැ. බලන්න ඕස්ට්‍රේලියාවේ ASIS මුකුත් හොයාගන්න බැහැ.
ලංකාවේ බුද්ධි අංශය ගැන මීට වඩා වගකීමෙන් මහජන නියෝජිතයින් ක්‍රියා කළ යුතුව තිබෙනවා. මේක බලාගෙන හිටියම ත්‍රස්තවාදීත් හිනා වෙනවා ඇති, ලෝකයේ රහස් ඔත්තු සංවිධානත් හිනා වෙනවා ඇති. අපි සමහර වටිනා කාරණා තියෙනවනම් පාර්ලිමේන්තුවේ හරි කමක් නෑ කාමරයක් වහලා මොබයිල් අයින් කරලා අදාළ අංශවල අයත් එක්ක මේ ගණුදෙනුව රහසේ බේරාගන්න තිබෙනවා. ඒක ජාතික අවශ්‍යතාවයක්.
ඊයේ පාර්ලිමේන්තුවේ විවාදය දිහා බැලුවම ඇත්තවශයෙන්ම මමනම් කණගාටු වුණා. මොකද්ද අපිට වෙන්න යන්නේ කියලා. අපි බෙදෙනවා, අපි ගහගන්නවා, අපි විනාශ වෙනවා.
විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව මේකෙන් බෙදෙනවා, කැඩෙනවා, විනාශ වෙනවා. ඊයේ දවසේ කළෙත් ඒක. මම ඉල්ලීමක් කරනවා අද දවසේ ඒක කරන්න එපා කියලා. මෙහෙම කළොත් ජාතියක් වැනසෙයි. අපි සියලුදෙනා මේ ගැන වගකීමෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා.
මේ වගේ ත්‍රස්තවාදී ක්‍රියා සිදුවුණාම ලෝකය අරන් තිබෙන පියවරයන් ගැන මම හොයලා බැලුවා. ලෝකයේ පාර්ලිමේන්තු අරන් තිබෙන පියවරයන් ගැනත් මම බැලුවා. ඇත්ත වශයෙන්ම අපි ලැජ්ජාවට පත්විය යුතුයි. උදාහරණයක් ලෙස 70 පෙබරවාරී මාසයේ ඊශ්‍රායලයේ, ගිහින් බලන්න මේ ත්‍රස්ත ප්‍රහාරය කොහොමද හසුරවලා තියෙන්නේ කියලා. 72 සැප්තැම්බර් ජර්මනියේ ප්‍රහාරය, බලන්න 73 මාර්තු ඇමරිකාවේ ප්‍රහාරය, මම ඉතුරු කිහිපය හැන්සාර්ඩ් ගත කරනවා කාලය මදි නිසා.
අපි මේ ගැන මීට වඩා වගකීමෙන් මහජන නියෝජිතයින් ලෙස ක්‍රියාකළ යුතුව තිබෙනවා. ඒ වගකීම පැහැර හැරියොත් එය ජාතියට කරන බරපතල ඛේදවාචකයක් හැටියටයි මට මේ අවස්ථාවේ සඳහන් කරන්න තිබෙන්නේ.
ඊයේ දිනයේදී ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ 78 වෙනි සැසිවාරය අමතමින් නිව්යෝර්ක් සිට සිදුකළ ප්‍රකාශය මම දැක්කා. එතුමා කියනවා ගෝලීය ප්රශ්නය සමඟ අපේ ප්රශ්නය විසඳා ගැනීමට ක්‍රියා කළ යුතුයි කියලා. ඒ නිසා මම හිතනවා අපි සියලුදෙනා එක එක්කෙනාට ඇඟිල්ල දික්කරලා පැනලා යන්නේ නැතිව අපි සියලුදෙනාම එකට එකතු වෙලා රටේ අනාගතය ගැන සිතා මේ ගැන වගකීමෙන් කටයුතු කරන්න අවශ්‍යයයි කියලා.
එක්සත් ජාතික පක්ෂ සභාපති, පා.ම.
හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන
මාධ්‍ය ඒකකය






















