රටතුළ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදයට විසදුම් වශයෙන් යෝජනාවලියක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදාළ යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ දිනයේදී කැබිනට් මණ්ඩලය රැස්වී ඇති අතර ඉන්ධන සහ විදුලි අර්බුදය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
එහිදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මෙම විසඳුම් ඇතුළත් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
එම යෝජනාවලියට ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වාදීම, රථ වාහන තදබදය අවම කිරීම සඳහා කාර්යාලීය වේලාවන්වල සංශෝධනය කිරීම, රාජ්‍ය ආයතනවල පැවැත්වෙන සාකච්ඡා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීම ඇතුළු කරුණු රැසක් ඇතුළත්කර ඇති බව වාර්තා වේ.
මේ අතර විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සෘජුවම මිලදීගැනීම සඳහා වූ යෝජනාවක් ද ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා විය.
විදුලි බල මණ්ඩලයට අයත් ඉන්ධන මෙතෙක් ඛනිජ තෙල් සංස්ථාවෙන් මිලදීගැනීම සිදුකළ අතර නව යෝජනාවට අනුව විදුලි බල මණ්ඩලය විසින් ඉන්ධන ආනයනය කිරීමට නියමිතව ඇත.






















